රජය අයිතම 97 ක් සඳහා සියයට 18 ක වැට් බද්ද පනවන බවත් එම වැට් බදු ලැයිස්තුව ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර ඇති බවත් සිංහල හෝ දමිළ භාෂාවෙන් එම ලැයිස්තුව ඉදිරිපත් කර නැති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ආයෝජන ප්‍රවර්ධන කලාපයකට අයත් නොවන කර්මාන්තශාලාවකින් , දේශීයව අමුඩ ලේනසුවක් නිෂ්පාදනය කර තිබෙනවානම් ඒ අමුඩ ලේන්සුවටද සියයට 18 ක වැට් බද්ද එකතු වන බවත් ර්ෂ ද සිල්වා මහතා කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘අයිතම 97 ක් සඳහා සියයට 18 ක වැට් බද්ද පනවන්න රජය බලාපොරොත්තු වෙනවා. රජය වැට් බදු අයකරන අයිතම 97 ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා. මේ අයිතම 97 සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරලා නෑ. එම අයිතම 97 තුළ පෝෂණ ආහාර , දේශීය පොල් කිරි , යන්ත්‍රෝපකරණ , දුරකථන , ඉලෙක්ට්‍රොනික් උපකරණ , වෛද්‍ය උපකරණ ඇතුළත් වෙනවා.

වැට් බදු ගහන්නේ නැතිව රට ගෙනියන්න බැරි බව අපි දන්නවා.රජය මේ මොහොතේ ඉන්නේ අසීරු අවස්ථාවක කියත් අපි දන්නවා. නමුත් මිනිස්සුන්ට කොලේ වහලා මේ දේවල් කරන්න එපා. වැට් බදු ගහන දේවල් පිළිබඳ කෙලින්ම කියන්න. රටේ සාමාන්‍ය ජනතාවට කොලේ වහලා ඩීසල්වලට , ගෑස්වලට , පෙට්ට්‍රල්වලට වැට් බද්ද අයකරන්න ආණ්ඩුව උත්සහ කරනවා.

ආයෝජන ප්‍රවර්ධන කලාපයකට අයත් නොවන කර්මාන්තශාලාවකින් දේශීයව අමුඩ ලේනසුවක් නිෂ්පාදනය කරලා තිබෙනවානම් ඒ අමුඩ ලේන්සුවට සියයට 18 ක වැට් බද්ද එකතුවෙනවා.ගොවිමහත්තයාගේ අමුඩ ලේන්සුව , උදලු තලය , පොහොර , තේ දලු , රබර් , කොප්පරා ඇතුළු සියලු දේවල් වලට සියයට 18 ක වැට් බද්ද අය වෙනවා.‘‘