රටේ තේ කර්මාන්තය සම්පුර්ණයෙන් කඩා වැටීමට ලක්වී ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයාට තේ කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙලක් නොමැති බවත් තව කාලයක් යනවිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැති වී යාමේ අවදානමක් ඇති බවත් අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවට සහබාගී වෙමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවැසීය.

කුඩා තේවතු හිමියන් බරපතල ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් කුඩා තේවතු හිමියන් පොහොර මිටිය ලබා ගත්තේ රුපියල් 2500 ට බවත් අදවන විට පොහොර මිටිය 11,500 ත් 12,000 ත් අතර මිලකට ගොස් තිබෙන බවත් රුපියල් 8000 ට පොහොර මිටිය තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් රුපියල් 8000ට පොහොර නැති බවත් සුජිත් සංජය පෙරේරා මහතා සඳහන් කළේය.

අමු තේ කිලෝවක මිල රුපියල් 200 ට ගෙනයන බව ආණ්ඩුව පම්පෝරි ගැහුවත් අමු තේ කිලෝවක මිල රුපියල් 150 සීමාවට යන්නෙත් ඉතා අසීරුවෙන් බවත් ඒ මහතා පැවැසීය.

එමෙන්ම තේ ශක්ති අරමුදල විසුරුවා දමා කුඩා තේවතු හිමියන් මුලින් ආයෝජනය කළ රුපියල් 10 ක කොටස් මුදල විතරක් ලබා දීමට රජයේ සූදානමක් පවතින බවත් කුඩා තේවතු හිමියන්ගේ අරමුදල මංකොල්ලකන තත්ත්වයට රජය පත්වී තිබෙන බවත් සුජිත් සංජය පෙරේරා මහතා කීය.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසන බවත් ඒ ගැන ඉදිරියේදී බලාගන්න හැකි බවත් රංග බණ්ඩාරගේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී නැතිවීමට ඉඩ ඇති බවත් සුජිත් සංජය පෙරේරා හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් සංජය පෙරේරා මහතා මෙසේද පැවැසීය.

පොදුජන පෙරමුණු රජය බලයට පැමිණ වසර 4 ක කාලයක් ගතවෙලා තියෙනවා. මේ කාලය තුළ රටේ ආර්ථිකයට , රටේ වැවිලි ක්ශ්‍රේත්‍රයට සහ සෞඛ්‍යට සිදුකළ හානිය ගැන අමුතුවෙන් මතක් කළ යුතු නෑ. රට මේ තත්ත්වයට පත් කරන්න පොදුජන පෙරමුණේ වර්තමාන මැති ඇමැතිවරු මේ තත්ත්වයට දායකත්වය ලබා දුන්නා.

රට යථා තත්ත්වයට ගේන්න පොදුජන පෙරමුණ බලයට පැමිණිය යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් , නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස පවසනවා. පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු තමයි රට මේ තත්ත්වට බංකොලොත් කරන්න වැඩ කටයුතු කළේ.පොදුජන පෙරමුණට තවදුරටත් රටේ ජනතාව රවටන්න මුලා කරන්න බෑ. රාජපක්ෂ යුගය ඉවරයි.
රට බංකොලොත් භාවයට ඇදලා දැම්ම රාජපක්ෂවරුන්ට නැවත බලය දෙන්න ජනතාව සුදානම් නෑ.

ගෝඨාභය රට විනාශ කරලා පැනලා ගියාට පස්සේ රනිල් වික්‍රමසිංහ බලයට ආවා. රටේ සියලු ප්‍රශ්න විසඳි තිබෙන බව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරු ජනතාවට ඒත්තු ගන්වන්න කටයුතු කරගෙන යනවා.

රනිල් වික්‍රමසිංහට කියන්න තියෙන්නේ පෙට්ට්‍රල් , ගෑස් පෝලිම් නැති කරපු එක විතරයි කියන්න තියෙන්නේ. ආර්ථිකයට , වැවිලි කර්මාන්තයට , කෘෂිකර්මාන්තයේ , සුලු පරිමාන කර්මාන්ත කරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු වෙලා නෑ. ඒ නිසා රට යථා තත්ත්වයට පත්වුණා කියලා පම්පෝරි ගහන්න එපා.

තේ කර්මාන්තය සම්පුර්ණයෙන් කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා තේ කර්මාන්තය නගා සිටුවයි කියන සුබවාදී තත්ත්වය පෙනෙන්නට නෑ.

පොහොර ලබා දෙනවා වුණත් රටේ සිටින කුඩා තේවතු හිමියන්ට හරියාකාරව පොහොරටික ලබාගන්න අවස්ථාවක් ලැබිලා නෑ. නිසි ප්‍රමිතියක් තියෙන පොහොර කුඩා තේවතු හිමියන්ට ලබාගැනීමේ අවස්ථාවක් නෑ. ඒ ගැන සොයා බලන්න බලධාරියෙක් නෑ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට , ප්‍රමිති කාර්යාංශයට , පාර්භෝගි සේවා අධිකාරිය ප්‍රමිතියෙන් තොර පොහොර ගැන සොයා බලන්නේ නෑ. සමාගම් කිහිපයක් කුඩා තේවතු හිමියන්ව හුරා කනවා.

අමු තේ කිලෝවක මිල රුපියල් 200 ට ගෙනියනවා කියලා ආණ්ඩුව පම්පෝරි ගැහුවා නමුත් අමු තේ කිලෝවක මිල රුපියල් 150 සීමාවට යන්නෙත් අමාරුවෙන්. කුඩා තේවතු හිමියෙකු අමු තේ කිලෝවකට රුපියල් 150 දෙනකොට පිරිවැය බරපතල ලෙස වැඩිවෙලා තියෙනවා.

කුඩා තේවතු හිමියන් පොහොර මිටිය ගත්තේ රුපියල් 2500 ට.අද 11,500 යි 12,000 යි අතර මිලකට ගිහින් තියෙනවා. ආණ්ඩුව කියනවා රුපියල් 8000ට තියෙනවා කියලා. නමුත් රුපියල් 8000ට පොහොර නෑ.

තේවතු වලට වල් නාශක යොදන්න ඕන. වල් නාශක මිලත් ඉහළ ගිහින් තියෙනවා. තේ දළු ප්‍රහානයේදී තේ කර්මාන්තශාලා වලට විශාල මුදලක් දරන්න සිදුවෙලා තියෙනවා. තේ දළු වලට මිලක් නියම කිරීමේදී මෙයත් ගැටලුවක් වෙලා තියෙනවා. රජය කුඩා තේ වතු හිමියන්ට කිසිදු සහනයක් ලබාදීලා නෑ.

අධික විදුලි පිරිවැයක් , ඉන්ධන සහ දැවිතෙල් පිරිවැය ඉහළ යාම නිසා තේ කර්මාන්තශාලා හිමියන්ද අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ නිසා කුඩා තේවතු හිමියන්ට තේ දළු වලට හොද මිලක් ලැබෙන්නේ නෑ.

කුඩා තේ වතු හිමියන් අලුතින් වගා කරනකොට රජයෙන් ආධාර ලබාදීමක් සිදුවුණා. පසුගිය වසරේ සිට එම ආධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ආධාර ලබාදීමේ වැඩසටහන වෙනුවට හදුන්වලා දිලා තියෙනවා සහන පොලියක් යටතේ ණයක් ලබා දීම. කුඩා තේවතු හිමින්ට ඒ ණය ගන්න ගියාම ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.

නැවත වගාවන් සිදු නොකිරීම හේතුවෙන් විශාල විදේශ විනිමයක් ලබාදුන් තේ කර්මාන්තය තව කාලයක් යනවිට ශ්‍රී ලංකාවෙන් නැති වෙලා යයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිටින කාලයේ තේ කර්මාන්තයේ පිඹිදීමක් ඇතිවුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආරම්භ කළා. තේ ශක්ති අරමුදල පිහිටවුවා. අද තේ ශක්ති අරමුදලට වෙච්ච දෙයක් නෑ. තේ ශක්ති අරමුදල යටතේ විශාල වාහන ප්‍රමාණයක් සහ යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් තිබුණා. ඒ සියල්ල අද අහිමිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය අද කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් විගණනය කරන්න වැවලි කර්මාන්ත අමාත්‍යාංශයේ කිසිම සූදානමක් නෑ.

තේ ශක්ති අරමුදල විසුරුවා දමලා කුඩා තේවතු හිමියන් මුලින් ආයෝජනය කළ රුපියල් 10 ක කොටස් මුදල විතරක් ලබා දීමට රජයේ සූදානමක් පවතිනවා. කුඩා තේවතු හිමියන්ගේ අරමුදල මංකොල්ලකන තත්ත්වයට රජය පත්වෙලා තිබෙනවා.

තේ කර්මාන්තය වගේම රබර් කර්මාන්තයත් බිඳවැටිලා තියෙනවා. පසුගිය දවස් වල රබර් ගස් වලට රෝගයක් ඇතිවුණා. ඒ සම්බන්ධයෙන් සොයා බලන්න රබර් පර්යේෂණ ආයතනයවත් මැදිහත් වුණේ නෑ. රබර් මිලට හොද මිලක් ලබාදීමට ස්ථිර වැඩපිලිවෙලක් නෑ.

පිරිසිදු කුරුදු අපනයනය කරන එකම රට ශ්‍රීලංකාව නමුත් ඒ තත්ත්වය අද නැතිවෙලා තියෙනවා. කුරුදු ගොවියෝ විශාල මුදලක් ලබා ගත්තා. කුරුදු අපනයනය අඩු වෙලා තියෙනවා. එක අපනයනකරුවෙක් නිසා කුරුදු කර්මාන්තයට බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා.

විපක්ෂය සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දින තුනක් සාකච්ඡා කළා. ඒ දින තුනේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු ටික සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවි තිබෙන වංචා දූෂණ සියල්ල සාධාරණීකරනය කරන්න කටයුතු කළා. සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රෙය් ගැටලු වලට විසදුම් ලබාදෙන්න ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ. විපක්ෂය සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග ඉදිරිපත් කළේ සත්භාවයෙන්.
රටේ සෞඛ්‍ය පිළිබඳ ඇත්ත තත්ත්වය ජනතාවට දැන ගැනීම සඳහා තමයි විපක්ෂය සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ගෙන ආවේ. විශ්වාසභංගයෙන් ආණ්ඩුව දින්නා ජනතාව පරාජය වුණා.

තමන් ගන්නා වැටුපෙන් තුනෙන් එකක් පොදු ප්‍රවාහනය සඳහා වැඩ කරන්න වැඩ කරන ජනතාවට සිදුවෙලා තියෙනවා. දුම්රිය වැඩ වර්ජනය නිසා ජීවිත කිහිපයක් රටට නැති වුණා. රජය ජනතාවය හොද කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ලබාදුන්නානම් මේ වගේ අවසනාවන්ත සිදුවීම් සිදු වන්නේ නැ. දුම්රිය වර්ජනය ගැන වගකිව යුතු කිසිම කෙනෙක් මේ වෙනකන් කතා කරලා නෑ.

වර්තමාන ජනාධිපති ආරම්භ කළ අස්වැසුම ප්‍රතිලාභය සැබැ දුප්පත් ජනතාවට ලැබෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් එවැනි තත්ත්වයක් අස්වැසුම ප්‍රතිලාභය ලබාදිමේදී සිදුවෙලා නෑ. අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සර්ව සාධාරණව සිදුවෙලා නෑ. අස්වැසුම ප්‍රතිලාභ සඳහා පිරිස් තෝරා ගැනීමට ගමට ගියේ පිටස්තර පුද්ගලයින්. ඔවුන් ගමේ සිටින පිරිස් ගැන දන්නේ නෑ. ගමේ ග්‍රාමසේවකව ඒ වැඩවලට යොදා ගත්තේ නෑ. අස්වැසුම ප්‍රතිලාභ සැබැ දුප්පතුන්ට ලැබුණේ නැ. අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණ අයට ඉදිරිපත් කරන්න කිව්ව අභියාචනා වලට තාම පිළිතුර නෑ. අභියාචනා වලට පිළිතුරු ලබාදීමේදීවත් ගමේ ග්‍රාම නිලධාරීවරයාව සම්බන්ධ කරගන්න.

රටේ මිනි මරුම් ගණන වැඩි වෙලා තියෙනවා. ගෙවුණ මාස 6 ක පමණ කාලයේදී මිනි මැරුම් 350 ක් සිදුවෙලා තියෙනවා. ජාතික ආදායමෙන් වැඩිම වියදමක් දරන්නේ රටේ ජාතික ආරක්ෂාවට. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසියාකාරය කටයුතු කරන්න බැරිනම් නීතිය හා සාමය පිළිබද ඇමැති ඉල්ලා අස්විය යුතුයි. රටේ ආරක්ෂක ඇමැතිවරයා වගකිව මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. පොලිස්පතිවරයා පත්කර ගන්න බැරි ආණ්ඩුවක් මේක. සුදුසුකම් තියෙන නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ඉන්නවා.

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුලුවන් විදිහට සමගි ජන බලවේගය ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ ශක්තිය තවත් වැඩි කරන්න දිස්ත්‍රික්ක මට්ටමින් ශාඛා සංවිධාන, කාන්තා සංවිධාන , යොවුන් සංවිධාන බලමුල ගන්වමින් ‘‘ඇත්ත අරමුණ දිනන ඇරඹුම‘‘ වැඩසටහන මාතරින් ආරම්භ කරනවා. ඒ තුළින් සමගි ජනබලවේගයේ ශක්තිය තවත් වැඩිවෙනවා. පාලිත රංගේ බණ්ඩාර කියනවා සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිපත්වන්නේ නැ කියලා. ඒ ගැන ඉදිරියේදී බලාගන්න පුලුවන්. රංග බණ්ඩාරගේ මහලේකම් ධූරය ආරක්ෂා කර ගන්න කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී පාලිත රංගේ බණ්ඩාරගේ මහ ලේකම් ධූරය නැතිවෙන්න යනවා කියලා අපට ආරංචි වෙලා තියෙනවා. ඊට පස්සේ පාලිත රංගේ බණ්ඩාරට පුත්තම් දිස්ත්‍රික්කයේ සංවිධායක ධූරය ලැබෙයි.

මාධ්‍ය වේදීන් නැගු ප්ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් සුජිත් සංජය මහතා පැවසුවේ මෙවැනි අදහසක්,

වෘත්තිය සමිති සියල්ල අයින් කරන්න ඕන කියලා ජනතාව කියනවා. ජනතාව වෘත්තීය සමිතිවලට තර්ජනය කරන්න පටන් ගත්තොත් කවදාවත් මේ රටේ වෘත්තීය සමිතියක් කරන්න බැනේ.

රජය වෘත්තිය සමිත ගැන හොයලා බලන්න ඕන. ඔවුන්ගේ ඉල්ලීම් දෙන්න පුලුවන්නම් ඉල්ලීම් කරලා දෙන්න ඕන. රජයේ මාධ්‍ය ජනතාව සහ සේවකයන් අතර වෛරයක් ඇති කරන්න හදනවා. සේවකයෝ වැරදියි රජය හරියි කියලා පෙන්වන්න හදනවා. ඇමැතිවරයා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මැදිහත්විමක් වෙන්නේ නෑ.

රජය කියනවා සියලු ක්ශ්‍රේත්‍ර අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරන්න ඕන කියලා

රජයේ එකම විසදුම ඒක තමයි. සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රකින්න ආණ්ඩුවට බැ. සේවකයන්ගේ ප්‍රශ්න වලට සාධාරණ විසදුම් නෑ. ආණ්ඩුව බලන්නේ වෘත්තිය සමිති මර්දනය කරන්න.

රට හදන්න විපක්ෂයට වැඩපිළිවෙලක් තියෙනවද?

විපක්ෂ නායක විදිහට සජිත් ප්‍රේමදාස තමන්ගේ සීමාවෙනුත් එහා ගිහින් වැඩකරන නායකයෙක්. රට අර්බුදයට ලක්වුණ කාලයේ ඖෂධ ලබා ගන්න උපකරණ ලබාගන්න සජිත් ප්‍රේමදාස පෞද්ගලිකව මැදිහත්වෙලා ඒවා ලබාදුන්නා.
ඔහුට වැඩපිළිවෙලක් තියෙනවා කියලා රටේ වැඩකරන ජනතාව දන්නවා. සජිත් ප්‍රේමදාස තමයි ආණ්ඩුව භාර ගන්න නායකයා.