ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගවීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සඳහා සම්මත කරගැණුනු 46/1 සහ 51/1 දරන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව පවසනවා.

ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහකොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත වාර්තාව එහි නිගමනයන් සහ නිර්දේශ ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවත් සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇතුළු පිළිගත නොහැකි අන්තර්ගතයන් සහිත අදාළ යෝජනාවලට මූලික වශයෙන්ම එකඟවිය නොහැකි බැවින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමාජික රටවල් බොහෝමයක් කටයුතු කළ බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෙය මානව හිමිකම් මණ්ඩලයේ සහ එහි සාමාජික රටවල සම්පත් අනවශ්‍ය ලෙස යොදා ගැනෙන නිශ්ඵල ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවේ අදහස බවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඊට සහයෝගය නොදක්වන අතර රටට සහ එහි ජනතාවට ප්‍රයෝජනවත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනෙකුත් යාන්ත්‍රණයන්ට පමණක් අප ඵලදායි ලෙස සම්බන්ධ වන බවයි හිමාලි අරුණතිලක වැඩිදුරටත් සඳහන් කළේ.