ගෝඨාගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බව නම් ඇත්තය. ඔහු පසුගිය බදාදා කළේ ආන්දෝලනාත්මක කතාවකි. ඒ කතාවේ හැංගුණු කතා තුනක් තිබේ. ඔහු ඒ කතාව කරන්නේ ඒ කතා තුන හංගාගෙනය. ඔහු දැන දැනම ඒ කතා තුන හංගන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ජනාධිපති ලෙස ඒ කතා තුන තමන්ට කියන්න බැරි බව දැනගෙනය.
‘මොකක්ද ඒ නොකියන රහස් තුන?
පළමුවැන්න ඊළඟ මැතිවරණයේදී පොදුජන පෙරමුණ පරාජය වීම නියත බව ඔහු පිළිගෙන ඇත. ‘තමන් අසාර්ථක වුණොත්’ යන වචනය ඔහු යොදන්නේ පොදුජන පෙරමුණේ ජාම බේරාගන්නටය. ඔහු නොකියා කියන්නේ තමාත් ආණ්ඩුවත් අසාර්ථක නිසා වෙනත් පක්ෂයක් බලයට පත්වීම වළක්වන්න බැරි බවය. ඔහු තමන්ව පරාජයට පත්කොට බලයට ගෙන ආ යුතු කණ්ඩායම ගැන ජනතාවට උපදෙස් දෙන්නේත් ඉදිරි අවුරුදු තුනෙහිවත් තමන්ටත් ආණ්ඩුවටත් සාර්ථක විය නොහැකි බව තේරුම් ගෙන ඇතිවා මෙන්ය.

දෙවැන්න ඔහු කතා කරන්නේ ඊළඟට බලයට එන ජනාධිපතිවරයකු ගැන නොව සමූහයක් ගැනය. ඒ කියන්නේ ඔහු ඊළඟ ජනාධිපතිවරණයට යන්නට පෙර හදිසි මහ මැතිවරණයකට යෑමේ දොළදුකකින් පෙළෙයි. මීට පෙරත් මෙම ලිපියෙන් පෙන්වා දුන් ලෙස පක්ෂයක නායකත්වයක් ලැබ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවා ජනාධිපති නොවී හදිසියේ මතුවී ජනාධිපතිවරු බවට පත්වූ සෑම අයකුම තම පළමු නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයකට යන්න බයක් දක්වයි. ඔවුන් හැම විටම උත්සාහ දරන්නේ මහ ඡන්දයකට යන්නටය. ඩී.බී. විජේතුංග ජනාධිපති වුණේ හදිසියෙනි. ප්‍රේමදාස ඝාතනය වූ නිසා ඔහු ජනාධිපති විය. ඔහුට ජනාධිපතිවරණයකට යන්න යැයි යූ.ඇන්.පී. ආණ්ඩුව ඇතුළෙන්ම බලපෑම් ආවත් ඔහු හදිසි මහ මැතිවරණයකට යන්න වැඩි කැමැත්තක් දැක්වීය. හේතුව තමාගේ බෙල්ල දීමට හෝ හොරාට කලින් මුට්ටිය දමා බැලීම හොඳ යැයි ඔහු හිතපු නිසා විය හැකිය. 2015 හදිසියේ ජනාධිපති වූ මෛත්‍රිපාලත් මේ විදියටම හිතුවේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිට වසර හතරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට තහනමක් පනවා තිබියදීත් ඔහු ව්‍යවස්ථාව මායිම් නොකොට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහ මැතිවරණයකට කලින් ජනාධිපතිවරණයකට මුහුණ දීමට තිබුණු බය නිසාය. අද ගෝඨාභයටත් ඒ බය තියෙනවාද දන්නේ නැත. ‘මම ජනාධිපති වෙලා නුඹලාව දිනෙව්වා. ඒත් නුඹලාට මාව දෙවැනි පාරට ජනාධිපති කරන්න වුවමනාවක් නැහැ නේදැ’යි ගෝඨාභය හිතින් ප්‍රශ්න කරගන්නවාද දන්නේ නැත. මේ අනුව බලන විට පළාත් පාලන, පළාත් සභා ඡන්දවලට පෙර හදිසි මහ මැතිවරණයක් එන බව නම් ඔහුගේ කතාවෙන් සහතික කොට කිව හැකිය.

තුන්වැනි රහස ඊළඟ මහ මැතිවරණයෙන් හෝ ජනාධිපතිවරණයකින් සමගි ජන බලවේගය බලයට එන බව ඔහු සක් සුදක් සේ දැන සිටීමය. පරණ කට්ටියටම දෙන්න එපා කියා ඔහු කියන්නේ සමගි ජන බලවේගය ගැනය. ඔහු හමුදා නායකයෙක් නිසා දැඩි සේ බුද්ධි අංශ වාර්තා මත විශ්වාසය තබන්නෙකි. බුද්ධි අංශ වාර්තාවලට අනුව සමගි ජන බලවේගය ඊළඟ ඡන්දයෙන් දිනන බව ඔහුට දැනෙනවා විය යුතුය. ඔහු සමගි ජන බලවේගය ගැන දැඩි තරහකින් කතා කරන්නේ සමගි ජන බලවේගය ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය සුනු විසුනු කර දමා ඇති බව පිළිගනිමින්ය. තමා බලාපොරොත්තු වුණේ මෙවැනි විපක්ෂයක් නොවේ යැයි ඔහු කියයි. ඒ කියන්නේ ඔහු බලාපොරොත්තු වී ඇත්තේ හීලෑ විපක්ෂයකි. ඒත් වසර දෙකක් තුළ වාර්තාගත ජනාධිපති ජනවරමක් සමග අසීමිත බලතල සියතට ගත් තමාවත්, තමාගේ තුනෙන් දෙකේ ආණ්ඩුවත් සමගි ජන බලවේගය විසින් බිමටම සමතලා කර ඇති බව ඔහු පිළිගෙන ඇත.

ඔහුගේ මේ කතාව සජිත් ප්‍රේමදාස පණ නැහැ කියන, සමගි ජන බලවේගය පක්ෂයක් නොවේ කියන, විපක්ෂය දුර්වල යැයි කියන පණ්ඩිතයන්ට හොඳ උත්තරයකි. සජිත්, ගෝඨා එක්ක ඩීල් දමලා යැයි කියන බක පණ්ඩිතයන්ට හොඳ උත්තරයකි. ඔහු සජිත් සහ සමගි ජන බලවේගය බලයට එන බව දැන ඒ ගැන තැතිගැන්මකින් ඉන්නා බව පැහැදිලිය. පරණ කට්ටියට දෙන්න එපා කියා ඔහු කියන්නේ ජේ.වී.පී. එකට දුන්නත් සමගි ජන බලවේගයට දෙන්න එපා කියාය. ඔහුට ජ.වි.පෙ. බලයට ආවාට කමක් නැත. ඔහු බය සමගි ජන බලවේගයටය. ඉදිරි මහ මැතිවරණයකින් සමගි ජන බලවේගය බලයට ආවොත් තමන්ට ජනාධිපති ධුරය දමල ගහල ගෙදර යන්න සිදුවෙන බවත්, ජ.වි.පෙ.ත් තරමක ආසන සංඛ්‍යාවක් ගතහොත් තමාට ඊළඟට හදන ආණ්ඩුව අච්චාරුවක් කිරීමට හැකි බවත් ඔහු දන්නවා විය යුතුය. පරණ කට්ටියට දෙන්න එපා යැයි ඔහු කෑමොර දෙන්නේ ඒ නිසා විය යුතුය.
සජිත් පණ නැහැ, සමගි ජන බලවේගය විකල්පය නෙවෙයි, විපක්ෂය දුර්වලයි කියන බක පණ්ඩිතයොත් මේ වසර දෙකට ගෝඨාභයවත් ආණ්ඩුවත් මුණින්තලා වට්ටවා ඇති බව දනී. මේ බක පණ්ඩිතයෝ පසුගිය මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ පිනට තනතුරු ගෙන, තම තමන්ගේ ප්‍රතිරූප හදාගත් ආණ්ඩුව ආරක්ෂා කරන්න වැඩක් නොකළ කොළ පාටත්, යූ.ඇන්.පී.යත් අරහං පිරිසක්ය. රනිල්, තමාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කරගන්න යූ.ඇන්.පී.කාරයන් කොන් කර ළඟට ගත්තේ ඔවුන්වය. යූ.ඇන්.පී.කාරයෝ දරදිය ඇද්දාහ. සජිත් යූ.ඇන්.පී.කාරයන්ට දැඩි සේ ආදරය කරන බව ඔවුන් දනී. ඔහු හැම පක්ෂ සම්මේලනයේම කතා කළේ දරදිය අදින යූ.ඇන්.පී.කාරයන් ගැනය. දේශපාලන පලිගැනීමට ලක්වූ යූ.ඇන්.පී.කාරයන් ගැනය. කැපුවත් කොළ යූ.ඇන්.පී.කාරයන් යූ.ඇන්.පී.ය අතහැර සජිත් පසුපස ආවේ ඔහු තමන්ව බලාකියා ගන්නා බව දන්නා නිසාය
කොයි තරම් පහර දුන්නත් මිනිස්සු තමන් එක්ක බව පහුගිය සති කිහිපයේ පැවැති විරෝධතාවලින් පෙන්නුම් කළේය. ඇත්තටම කොරෝනාවලින් වැඩිම අවාසිය විපක්ෂයටය. එයිනුත් වැඩි අවාසිය සජිත්ටය. සජිත් කොළඹ සිට කාර්යාලයට බක පණ්ඩිතයෝ ගෙන්වා ගෙන ආණ්ඩු හදන්න හීන මාලිගා හදන අයෙක් නොවේ. ඔහු ගමට ගොස් ගමේ මිනිසුන් එක්ක දේශපාලනය කරන අයෙකි. කොරෝනා නිසා ඔහුට මිනිසුන් අතරට යන්න බැරිව ඔහුගේ අත්තටු කපා තිබිණි. දැන් ඔහු යළි මිනිසුන් එක්ක ගේම පටන්ගෙන තිබේ. මිනිසුන් එක්ක ඩීල් එක දමන්න පටන්ගෙන තිබේ.
.
ඒ විතරක් නොවේ. ස.ජ.බ.ය කොළඹ තියන්න යන උද්ඝෝෂණය කොරෝනා ගැසට් එකක් හරහා නතර කර තිබේ. ඒ කියන්නේ ගෝඨාත්, ආණ්ඩුවත් බයවී ඇත්තේ මේ උද්ඝෝෂණයටය. ඒ කාලේ විපක්ෂයට තිබුණේ ගෝඨා බයය. දැන් ගෝඨාගේ ආණ්ඩුවට හැදී ඇත්තේ සජ-බයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු