අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්බන්ධ අර්බුදය නව තලයකට උග්‍ර වී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇත්තේ, ව්‍යවස්ථා සභාවේ බහුතර සහයෝගය නොලැබීම නිසා අනුමැතිය ලබාදීම ඇණහිට ඇති බවයි.

ව්‍යවස්ථා සභාවේ ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.

මේ අතර, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 09 දෙනාගෙන් තමන් හැර 05 දෙනකුම යෝජිත පත්කිරීමට විරුද්ධ බවත් එම නිසා එම මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අසීරු බවත් කථානායකවරයා ජනාධිපතිවරයාට දන්වා ඇති බවද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් ආයතනයකි. එහෙත්න සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයා තවමත් පත්කර නොමැති බැවින් දැනට එහි සාමාජිකයෝ 09 දෙනෙක් සිටිති.

කථානායක, අගමැති සහ විපක්ෂ නායක සිය තනතුරු අනුව එහි නිත්‍ය සාමාජිකයෝ වෙති.

ඊට අමතරව, සිවිල් සමාජය නියෝජනය කරන පාර්ලිමේන්තු නොවන තිදෙනෙකු සමඟ අගමැතිවරයා , විපක්ෂ නායක සහ ජනාධිපතිවරයා විසින් නම් කරන ලද තුන්දෙනකු එහි ඇත.

කථානායකවරයාට යම් පත්කිරීම් අනුමත කිරීමට තම බලය ක්‍රියාත්මක කළ හැක්කේ අනෙකුත් සාමාජිකයන් අතර ගැටීමක් ඇති වූ විට පමණි.

ජනාධිපතිවරයාගේ නිර්දේශයට පක්ෂව සිටින්නේ අගමැති දිනේෂ් ගුණවර්ධන, ඔහු විසින් නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ජනාධිපතිවරයා විසින් නම් කරන ලද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පමණක් බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාස තුනක කාලයක් සඳහා පත්කර ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ දී නුදුරේදී ඇති විය හැකි අවුල් සහගත තත්ත්වය පිළිබඳව ද වත්මන් අවුල් සහගත තත්ත්වය විසින් ඉඟිකර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාට තවත් දිගුවක් සඳහා මූලික කාල සීමාව අවසන් වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.