ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී ආර්ථික සංධිස්ථාන රැසකට මුලපිරූ අදටත් අප රටට ඩොලර් උත්පාදනය කර දෙන කර්මාන්තශාලා 200 ව්‍යාපෘතිය ආරම්භ කළ, අප රටේ ජනතාවගේ ජීවිත නගා සිටුවීම සඳහා අනුපමේය සේවාවන් රැසක් ඉටු කළ, හිසට සෙවනක් නැති ජනතාව වෙනුවෙන් ජාති, ආගම්, කුල, පක්ෂ භේදයෙන් තොරව නිවාස සිහිනය සැබෑ කළ මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණසැමරුම 2024 මැයි මස 1 වැනි දිනට යෙදී තිබේ.

ගුණානුස්මරණ උත්සවය කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී හෙට පෙ.ව 8.30 ට පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම උත්සවයට සමගාමිව හෙට (මැයි 01) උදේ 6.00 ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරවාසී මහාසංඝරත්නය විෂයෙහි පිරිණමන සපිරිකර සංඝගත දක්ෂිනාව පැවැත්වේන අතර අද (30) ප.ව.5.00 සිට ප.ව.6.00 දක්වා ශ්‍රී සුචරිත ශාලාවේදී මොරටුව ලුනාව බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අති පූජ්‍යය අගලකඩ සිරිසුමන නායක මාහිමිපාණන් වහන්සේගේ සුමුදුර දහම් දේශනාවක් පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් හෙට දිනයේදී පැවැත්වෙන උත්සවයට එතුමන්ගේ පුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පවුලේ ඥාතීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහබාගී වීමට නියමිතව තිබේ.