වසර දෙදහස් පන්සිය හැට ගණනකට අධික ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික වංශකතාවේ මෙතෙක් සිදුවී ඇති වැදගත්ම ඓතිහාසික සංසිද්ධිය මහින්දාගමනය බව අතිශයෝක්තියක් නොවේ.

සමණාමයං මහාරාජ – ධම්ම රාජස්ස සාවකා
තමෙව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා.

මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජුට දේශනා කළේ එයයි.

ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්ම තම ජීවිත හැඩගස්‌සවා ගැනීමට මංපෙත් විවර කර දෙමින් ජාතික, ආගමික, දේශපාලනික, ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්‌කෘතික වශයෙන් වූ සෑම ක්‍ෂේත්‍රයකම වර්ධනයට ද මහින්දාගමනය පුරෝගාමී විය.අපේ රටට දාර්ශනික ආගමක්,සංස්කෘතියක්,සංස්කෘතියෙන් කලාවක්,සමාජ සාරධර්ම,සාහිත්‍යය හා ථේරවාදී බෞද්ධ දර්ශනයේ කේන්දස්ථානය බවට පත්වූයේ මහින්දාගමනයෙනි.

හෝඩිපොතක් හෝ නොතිබූ රටක් වූ ශ්‍රීලංකාවට බුදු සමය ලැබීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බ්‍රාහ්මි අක්‍ෂර මාලාව සහිතව සකස්‌ වූ අක්‍ෂර හෝඩියක්‌ පවා ලැබුණේය. අධර්මයෙන් වෙළී, දුසිරිතෙන් බර වී, අවිද්‍යාවෙන් මුළා වී පැවැති මිනිස් සමාජය මහින්දාගමනය හේතුකොටගෙන ශිෂ්ට සම්පන්න ප්‍රශස්ත සහ කෘතහස්ත විය.

මිහිඳු මාහිමි දෙවනපෑතිස්‌ රජුට දුන් පණිවිඩය කුමක්ද ? ඒ,

“මහරජ, ඔබ මේ වනයේ අයිතිකරු නොවේ. භාරකරු පමණි”

යනුවෙනි.මිනිසාට පමණක්‌ නොව සතා සිවුපාවටත් සොබාදහමටත් නිදහසේ ජීවත් වීමේ සම අයිතියක්‌ ඇති බව මින් ගම්‍යමාන වේ.

එපමනක් නොව,

බලලෝභීත්වය,ඒකාධිපතිත්වය,ජනතා හිංසනය යනාදී සියල්ල මිහිඳු මාහිමියන්ගේ ප්‍රතික්ෂේප කළහ.එවැනි දෑ ප්‍රතික්ෂේප කළ යුතු බව රජුට ද අනුදැන වදාළහ.

එය එදාට මෙන්ම අදටත්, අදට මෙන්ම හෙටටත් සර්වකාලීන පණිවිඩයකි.

ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

“ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කෙරේ”

එකී සනාතන සත්‍ය අවබෝධ කරගෙන බැතිබර සිතින් උතුම් පොසොන් පුර පසලොස්වක පෝ දිනය සමරමු!

සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.