ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණවලින් බහුතරය පසුගිය කාලයේදී රිවස් විය. රිවස් නොවුන තීරණයක් සොයා ගැනීම මිනිසෙක් නොමළ නිවසකින් අබ මිටක් සොයනවාටත් වඩා අසීරු දෙයක් වී තිබුණේ ජනාධිපතිවරයාගේ තීරණ හා රිවස්වීම් අතර එතරම් සමීප සම්බන්ධතාවයක් පැවතීම නිසාය.

පසුගිය සතියේදී ආණ්ඩුව ගත් තීරණයක් යළිත් රිවස් කිරීමට තීරණය කර තිබුණි. ඒ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ඉවත් කර ඒ වෙනුවට පොදුජන පෙරමුණේ පරිපාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා පත් කිරීමට සූදානමින් සිටියත් එයත් පසුව යළිත් රිවස්වුයේ ජනාධිපතිවරයා ගත් තිරණයක් ලෙසය.

තෙෂාර ඉවත් කිරීමේ තීරණය ගෙන තිබුණේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින්ය. එයට හේතුවී තිබුණේ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිිමිකාරීත්වය දරන්නේ රක්ෂණ සංස්ථාව වන නිසාය. රක්ෂණ සංස්ථාවට එම තීරණය ගැනීමට බල කර තිබුණේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාය.

ඒ අනුව තෙෂාර ඉවත් කිරීමේ තීරණය ගෙන ඒ වෙනුවට රේණුක පෙරේරා පත් කිරීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය. අධ්‍යක්ෂ මණ්ඩලය මේ තීරණය ගෙන වැඩි වේලාවක් යන්නට පෙර ජනාධිපතිවරා සිටියේ තෙෂාර සමගය.

තමන් ඉවත් කිරිමට ගෙන ඇති තීරණය ගැන තෙෂාර ජනාධිපතිවරයා දැනුවත් කරන විටත් ඔහු ඒ ගැන වැඩිදුර තොරතුරු දැන සිටියේ නැත. වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා තීරණය කළේ තෙෂාර ඉවත් නොකර තවදුරටත් එම තනතුරේ රදවා තබාගැනීමටය