පසුගියදා මුහුණුපොතේ පළකළ දැන්වීමකින් තරුණයෙකු ආයාචනය කොට තිබුණේ තම නැතිවූ බළලා සොයා දෙන ලෙසත්, ඒ් වෙනුවෙන් වටිනා තෑග්ගක් ලබා දෙන බවත්ය. මේ දැන්වීම පළ කොට තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂගේ බඩපිස්සා වූ රෝහිත රාජපක්ෂ හෙවත් චිචී යන සුරතල් නාමයෙන් හඳුන්වන පුත්‍රයාය. චිචී මීට පෙර රට පුරා ප්‍රචලිතව සිටියේ කිසිදා නොඑන රොකට්ටුවක් අභ්‍යාවකාශ ගත කරමින් තැබූ වාර්තාව නිසාය. අපේ දරුවන් රුපියල් දහයක් දී අහස් කූරක් ඇර ලබන්නා වූ තෘප්තිය රාජපක්ෂලාගේ දරුවන්ට සෑහීමට මදිය. ඒ උන් රජ පැටව් නිසාවෙනි. ඒබැවින් රාජපක්ෂ (බඩ)පිස්සා චීනයේද ආධාර ඇතිව රුපියල් මිලියන ගණනක් වැය කර තඩි රොකට්ටුවක් හඳට ඇරියේය. එයට වූ දේ කුමක්දැයි කිසිවෙකු නොවිමසන අතර, බයියෙක්ගෙන් ඇසුවොත් කියනු ඇත්තේ හඳ ලඟටම යද්දී අමාවක ලබා තිබුණේය කියාය.

මේ දැන්වීම සමඟ චිචීගේ පූසා සෙවීමට කෝට්ටේ බැද්දගාන අවට ජනතාව මහත් උනන්දුවක් දැක්වූ අතර, රටේ සැලකිය යුතු පිරිසක් ඒ් දෙස උනන්දුවෙන් යුතුව නෙත් යොමා සිටීමද විශේෂත්වයකි. රටේ ජනතාව චිචීගේ පූසා සෙවීමට ඒතරම් උනන්දු වූයේ රාජපක්ෂලා ගැන ඇති ඇල්ම නිසා නොව පූසා සොයා ගැනීමට නොහැකි වුවහොත් ඒවැනි තිරිසනෙක් සුරතලයට හදාවඩා ගැනීමට චිචියා නැවතත් වැය කරන්නේද මෙරට ජනතාවගේම බදු මුදල්ය යන අහිංසක බිය පෙරටු කොටය.

රටම පෙරළමින් හොයන මේ පූසා ගැන බලවේගයේ අපද සොයා බැලුවෙමු. රාජපක්ෂ (බඩ) පිස්සාගේ පූසා අයත් වන්නේ, ටර්කිෂ් ඇන්ගෝරා (Turkish Angora) හෙවත් පර්සියන් අංකාරා යන බිළාල ගෝත්‍රයටය.  ඌ ගෙන්වාගෙන ඇත්තේ තුර්කියෙන්ය. මෙම බළලා වාසනාව ගෙන දීමේ ජීවමාන සතෙක් බව තුර්කි රජ පරම්පරා වල විශ්වාසය වූ බව පැවසේ. මෙවැනි බළලෙකුගේ සාමාන්‍ය මාසික සෞඛ්‍ය වියදම රුපියල් 12,000 – 16,200 ක් පමණ වේ. ආහාර සඳහා නිර්දේශිත සුපර් ෆුඩ් සඳහා මසකට සාමාන්‍යයෙන් රුපියල් 38,000 ක් පමණ වැය වේ. ඒසේ වුවහොත් යටත් පිරිසෙන් මේ පූසා නඩත්තුවට මාසිකව රුපියල් 50,000 ක් වැයවේ. චිචීට රස්සාවක් නැති නිසා ඒසේ වැය වන්නේ ඔබේත් මගේත් මුදල්ය.

පර්සියන් අංකාරා සාමාන්‍ය බළලෙක් තුර්කියේ මිළ වන්නේ ඇමරිකානු ඩොලර් 990 – 1650 අතරය. උසස් පෙළපතක, සම්මත බර, දිග රෝම, ආකර්ශනීය පැහැයද සහිත ඒකෙක් ඇමරිකානු ඩොලර් 3900 – 4800 පමණ වේ. චිචීගේ ටර්කිෂ් ඇන්ගෝරා බළලා 17 වන සියවසේ පර්සියන් රජ පෙළපතකට අයත් බව  පෙළපත් සටහන් වල දැක්වේ. ඒ අනුව අනුමාන කළ හැකි වන්නේ අඩුම තරමින් මේ පූසා රුපියල් ඒකොළොස් ලක්ෂ පනස් දෙදහසක් පමණ වන බවය. ඉත්තේරුවෙන්ම ඒද රටේ මුදල් විය යුතුය.

තරු පංතියේ ආහාර පාන වලින් සන්තර්පනය වීමටත්, අග හිඟයකින් තොරව කොළඹ ලොකු කොලේජ් වල ඉගෙන ගන්නත්, විදෙස් ගත වී ආණ්ඩුවේ වියදමින් උසස් අධ්‍යාපන වරම් ලැබීමටත්, පහසුකම් යටතේ රගර් ක්‍රීඩා කොට තෙලේ බස්වා ගැනීමටත්, රාත්‍රී සමාජ ශාලා වල විදෙස් කතුන්ගේ මාංශ පහස මැස ආලිංගන රැඟුම් දැක්වීමට, මිතුරන් පිරිවරා ලොව සුපිරිතම මෝටර් රථ වලින් රේස් පැදීමට පමණක් නොව, රටේ වරප්‍රසාද ගත් පංතියේ යුවතියක් සමඟ නිසි කල සරණ බන්ධනයට යොමුවීමටත් හිමිකම ඇති තරුණයන් වේ නම් ඒ රාජපක්ෂලාගේ පරපුරේ චිචී ඇතුළු දරුවන්ට පමණකි. දැන් චිචීගේ අලුත්ම විනෝදාංශය ක්‍රිකට් ගැසීමය. ඒ නොබෝ දිනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ නායකත්ය ඔහුට හිමිවීමේ සංඥාවකි.

එවැනි පරපුරක තරුණයෙකුට සිය සුරතල් පූසා නැතිවීම දැඩි සිත් තැවුලකට හේතුවක් වුවද, මෙරට අතිමහත් තරුණ ප්‍රජාවට ඇත්තේ එවැනි සාංකාවන් නොව, ඇතැම් විට මීළඟ වේල කෙසේ සරි කර ගනිම්ද යන්න හෝ තම හෙට දවස කෙසේ වේද යන අවිනිශ්චිත භාවයයි.

“අපි හැමදාම බලාගෙන හිටියා මේ රට හැදෙයි කියලා. සෑහෙන හීන මැව්වා. හැබැයි එන්න එන්නම ආගාධයට ගියා. දැන්නම් ඒකේ කෙළවරට ඇවිත් තියෙන්නේ. ආයෙත් මේ රට ගැන බලාපොරොත්තු තියන්න බැහැ. රට හදන්න කියලා අපේ ජීවිත නාස්ති කරගන්නත් බැහැ. අපිත් මොන ක්‍රමයකින් හරි පිටරටකට යන්න උත්සහ කරනවා. තරුණ කාලෙ විනාස වුණ එකේ අඩුම තරමේ ජීවිතයේ මැදි වයස හරි සතුටින් ඉන්න එක තමයි දැන් අපේ අපේක්ෂාව”

ඒ්, අපේක්ෂා භංගත්වයට පත්ව, කොහේ හෝ රටකට පැනීමට සිය විදෙස් ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට පැමිණ බත්තරමුල්ලේ පාස්පෝට් කන්තෝරුව ඉදිරිපිට පෝලිමේ අව්ව තපින තරුණියක් සිය හැඟීම් මුදා හැරි ආකාරයයි. ඒය ඇගේ පෞද්ගලික මතය නොව මෙරට සමස්ත තරුණ පරපුරේ මහා පොදු සාධකයයි.

මෙරට සංඛ්‍යාන දත්ත අනුව තරුණ තරුණියන්ගෙන් හරි අඩක් විරැකියාවෙන් පෙළෙන්නන්ය. ඒ තම අධ්‍යාපනයට සරිලන රැකියාවක් දීමට පාලකයින් කටයුතු නොකිරීම හෝ රැකියාවට සරිලන පුහුණුව හෝ සුදුසුකම් සපුරාදීමට තරුණ පෙළට අවස්ථාව සලසා නොතිබීම නිසාය. පාස්පෝට් සකසා විදෙස් ගත වීමට උත්සාහ කරන්නේත්, ජීවිතයද පරදුවට තබමින් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් දේශසීමා තරණයට තැත්  කරන්නේත් මේ තරුණ ප්‍රජාවය.

සාර්ක් කළාපය තුළ තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට මේ ශ්‍රී ලංකාවය. එහෙත් අප්පා මහප්පලාද ඇතුළු පුංචි තාත්තලාද, සහෝදර කැළද ලෙස චිචීලාගේ රාජපක්ෂ පරපුර මෙරට පාලකයන් ලෙස ගෙවා දැමූ (දමන) සමස්ත කාල සීමාව තුළ ‘සැරසෙමු ලංකා‘, ‘තාරුණ්‍යයට හෙටක්‘, ‘ශ්‍රි ලංකා යූත්‘, ‘නිල් බලකාය‘ වැනි විවිධ නම් වලින් තරුණ සංවර්ධන ව්‍යාපෘති එළිදැක්වූවද ඒවායේ අපේක්ෂාව වූයේ සිය කඳවුරට අවශ්‍ය තරුණ වහලුන් තනා ගැනීම මිස සැබෑ තරුණ ගැටලු වලට විසඳුම් සෙවීමට නොවේ.

ජෝසෆ් ගොඩ්ප්‍රි