රටේ මිනිසුන් තුළ රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටුවට එරෙහිව කැළඹිල්ලක් ඇති වන විට පොහොට්ටුව විසින් දේශපාලන ඩීල් එකක් ක්‍රියාත්මක කළ බවත් රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනපති ඉවත් වූ පසු තමන්ට අවැසි ලෙස හැසිරවිය හැකි දොරටු පාලකයෙක් රටේ පාලකයා ලෙස පත් කර ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මුදල් ඇමතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා පසුගිය කාලයේ ජනතාවට බයේ හැංගී සිටියත් මේ වන විට බය නැතිව ජනතාව ඉදිරියට පැමිණ ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ මෙන්ම 2020 මහමැතිවරණයේ දී සිදු කළ රැවටිල්ල නැවතත් ක්‍රියාත්මක කරමින් ඇමතිකම් ලබා ගෙන ඇති බවත් (11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37ක් නඩත්තු කරන්න මෙන්ම කැබිනට් ඇමතිවරු 20ක් නඩත්තු කරන්නත් තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කරන්නත් සූදානමක් පවතින බවත් 69ක් ඇමතිවරු පත්කර වරදාන වරප්‍රසාද ලබා දීමට මුදල් පවතින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වතුකරයේ සිට ධීවරයන් දක්වා සමස්ත ජනතාවට භූමිතෙල් සහනාධාරය ලබා දීමට මුදල් නොමැති බව ද පැවසීය.
පොදු ජනතාවගේ ඇස් ඉදිරියේ ම මහා දේශපාලන ජවනිකාවක් රඟපාන බවත් එය ඉතා විහිළුවක් බවත් රට හදනවා කියා රටට සූරයෝ වීරයෝ අවශ්‍යයැයි කියා ජාති භේද ආගම් භේද අවුස්සා පසුගිය වසර දෙකහමාරක කාලය රට විනාශ කළ බවත් ඒ ව්යාජනත්වය වටා විශාල ජන රැල්ලක් ඒකරාශි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ ජනතාව විසින් 69 ලක්ෂයක් වරමක් ලබා දුන් ජනාධිපතිවරයා එම ජනතාව විසින් ම ගෙදර යැවූ බව යි. අවසානයේ ඔහුට ජනාධිපතිකම මෙන් ම රටේ ඉන්නට බැරි තත්ත්වයක් ඇති වූ බවත් ඔහු විසින් ජනතාවගේ සහ රටේ ජීවිත විනාශ කළ බවත් එවැනි යුගයක් මෑත ඉතිහාසයේ බිහි නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට පුරාම මිනිසුන් පීඩනයෙන්, අසහනයෙන් සිහින බව යි.
මාස ගණනාවක් පුරා රට පුරා මාර්ගගත අධ්‍යාපනය හරියට සිදු නොවූ බවත් ඒ නිසා ළමයින්ගේ විභාග කටයුතු පවා ඇණහිටි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2022 උසස් පෙළ විභාගය පවත්වන්නේ හරියට විෂය නිර්දේශය ආවරණය නොකරමින් බව ද පැවසීය. මෙවැනි ගැටලු රාශියක් පැවතියත් ඇමතිවරු පත් කරන්න සහ වරදාන ලබා දීමට මුදල් ඇති බවත් පැවසීය.
එසේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අරගල කළ තරුණයන් සහ ජනතාව යටපත් කරමින් පවතින බවත් ඔවුන් මේ සියලු කටයුතු සිදු කරන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස බවත් ඔවුන්ට හිතවත් අයට පමණක් ඇමතිකම් ලබා දෙමින් පොහොට්ටුවේ 134ක් එකතු වී පත් කළ ජනාධිපතිවරයාව තමන්ට අවැසි ලෙස පාලනය කරන බවත් පැවසීය.
සමගි ජනබලවේගයේ හලාවත ආසන බලමණ්ඩල රැස්වීම අද(11)පැවැත්විණි. එය සංවිධානය කළේ සමගි ජන බලවේගයේ හලාවත ප්‍රධාන සංවිධායක ශාන්ත අබේසේකර මහතා විසිනි. එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.
එබැවින් මේ ව්‍යාජ රංගනයට නොරැවටිය යුතු බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගල කළේ මෙවැනි ව්යාජයකට නොවන බවත් තමන් ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මෙවැනි හොරුන් සමඟ එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
මේ රාජ්‍ය භීෂණයට, මැරකමට, ත්රස්තවාදයට නොසැලිය යුතු බවත් මේ රටේ ප්රජාතන්ත්රවාදය සුරකින්න සමගි ජන බලවේගය සූදානම් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නුදුරේදීම ජන පීඩනයෙන් තොර සියලු ක්ෂේත්රවල සංවර්ධන විප්ලවයක් ඇති කරවන යුගය උදාවන බවත් පැවසීය.