මිනිසුන්ට ජීවත් වීම සඳහා ලබා දිය යුතු අවම සම්පත් ලබා දීමටත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබිය දීත් ඒ සඳහා මුදල් වෙන් කළ නොහැකි බවට රජය විසින් පවසා සිටිය දීත් රාජ්‍ය ඇමතිවරු 38ක් නඩත්තු කිරීම සඳහා අතිවිශාල මුදල් කන්දරාවක් වෙන් කර විශාල වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබා දී ඇති බව අද (13) පිළියන්දල දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාකන්දන,මඩපාත,පිළියන්දල සංකල්ප විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතී. එකී ගොඩනැගිල්ල ඉදිකිරීමට දායකත්වය සැපයීමේ අරමුණ පෙරදැරිව සංකල්ප විහාරාධිපති, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමිපාණන්වහන්සේ වෙත විපක්ෂ නායකතුමා විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

වසර දෙකහමාරකට ආසන්න කාලයක් සූරයෙක් වීරයෙන් පත් කර රට බංකොලොත් කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මේ වන විට බරපතළ දේශපාලන රංගනයක නිරතවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට විනාශ කළ රාජපක්ෂ පරපුර තනතුරුවලින් ඉවත් වුවත් ඔවුන්ගේ රූකඩයක් මේ වන විට රටේ මුල් පුටුවේ වාඩිකරවා තමන්ට අවැසි ලෙස කටයුතු කරන බවයි.

මේ වන විට ජනමතවිචාරණයක් හරහා බලය තහවුරු කිරීමට උත්සාහ කරන බවත් එහෙත් සිදු විය යුත්තේ ජනතාවගේ මනාපයෙන් පුද්ගලයන් පත් කර ගැනීම බවත් එසේ නොමැතිව පොහොට්ටු සෙවනැලි පාලනයක් ගෙන යාමට ඉඩ ලබා නොදිය යුතු බවත් මේ වන විට වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහ රාජපක්ෂලාගේ ප්‍රාණ ඇපකරුවක–ු ලෙස කටයුතු කරන බව ද පැවසීය.

රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට අසීමිත අසහනයකට, පීඩනයකට ලක්ව ඇති බවත් මෙවන් අවස්ථාවක සියලු දෙනාම කළ යුත්තේ ආත්මාර්තකාමීත්ව පසෙක දමා පරාර්ථකාමීත්වයට මුල් තැන ලබා දීම වුවත් රටේ සිදුවන සමහර දේවල් ගැන ලොකු කණගාටුවක් ඇති වන බව ද පැවසීය.

මව්වරුන්ට අවශ්‍ය කිරිපිටි, ත්‍රිපෝෂ, අත්‍යාවශ්‍ය පෝෂණ මලු ආදිය නොලැබෙන බවත් තරුණ පරපුර විරැකියා පෝලිමේ සහ ඇතැම් පිරිස රට අතහැර යාමෙන් බුද්ධි ගලනයක් සිදුව ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ප්‍රශ්න ගැන අනාවබෝධයෙන් කටයුතු කිරීම තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ ද විශේෂඥ වෛද්‍යවරු රට අතහැර යාම, ඖෂධ හිඟයක් ඇති වීම ආදී තත්ත්වයන් ඇතිව බවත් පැවසීය. මේ තුළින් රෝගීන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇති බව ද ඒ මහතා පැවසීය.

මේ වන විට ධීවර, ගොව කෘෂිකර්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රය පවා බිඳ වැටී ඇති බවත් මුළු රට රටම එකතැන නතර වී ඇති බවත් අවම වශයෙන් පාසල් අධ්‍යාපනය පවා බිඳ වැටී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයට මෙවැනි අඩුපාඩු තුරන් කිරීම සඳහා ඉල්ලීම් සිදු කරන විට කියා සිටින්නේ මුදල් නොමැති බවයි.

එසේ වුවත් මිනිමරුවන්ට පවා ඇමතිධුර ලබා දෙන තත්ත්වයට මේ රජය පත්ව ඇති බවත් ඒ හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පවා පාරේ බැහැල යා නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් පැවසීය.

බංකොලොත්වුණ මේ රට නැවත ගොඩනැගීමට කැබිනට් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු 15ක් පමණක් ප්‍රමාණවත් බවත් එහෙත් මේ වන විට ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එසේ ඉක්මවා යෑම තුළ ඔවුන් නඩත්තු කළ යුත්තේ ජනතාවගේ බදු මුදලින් බැවින් මේ සඳහා විරුද්ධ වී සැබෑ දේශප්‍රේමී රටක් නිර්මාණය කිරීමට පෙරට ආ යුතු බවද ඒ මහතා පැවසීය.