හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේහෙලිය රඹුක්කැල්ල පාලන සමයේදී හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් රාජකාරී වැඩ තහනමට ලක් කරන ලද වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති මෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය චමල් සංජීව අද (08) නැවත රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සෞඛ්‍ය අණු කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යාංශහි රාජකාරී භාර ගැනීමට නියමිතව තිබෙනවා.

රෝහල් පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති ඒ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය දරුවන්ගේ මණ්ඩපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද රටේ දරුවන් තුළ පෝෂණ අර්බුදයක් ඇතිවිය හැකි බවට සිදුකළ ප්‍රකාශයක් මත පදනම් කොට රාජකාරී වැඩ තහනමට ලක්වූයේ පසුගිය 2022 වර්ෂයෙන් නොවැම්බර් මාසයේදීයි.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්න ගත ඉමියුනොගොලොබියුන් හා පිළිකා ඖෂධ වංචාවද පළමුවට රටට හෙළි කරන ලද්දේද වෛද්‍ය චමල් සංජීව විසිනි.

රාජකාරී වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාවේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දූෂණ වංචා කරමින් ඉතා රැසක් හෙළි කළ අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටින ලදී.

වර්තමාන සෞඛ්‍ය ලේකම් පාලිත මහිපාලගේ නිර්දේශ මත රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ සෞඛ්‍ය අනු කමිටුව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සේවය පිහිටුවීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ මහතාට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණය තවමත් අවසාන නොමැති අතර එම විධිමත් විනය පරීක්ෂණය තුළ මේ දක්වා අනාවරණය වූ කරුණු වලට අනුව ඒ මහතා විසින් ප්‍රශ්න සහගත ප්‍රකාශයක් සිදු නොකළ බවද හෙළි වී ඇතැයි ද සඳහන්.

‍කෙසේ වෙතත් මේ වනවිට පුරප්පාඩු වී ඇතැයි පැවසෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම අධ්‍යක්ෂ ධූරය සඳහා ඔහුව තාවකාලිකව පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.