“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පැමිණි පසු රට බංකොලොත් කළේ රාජපක්ෂවරු බව රටේ ජනතාවට අමතක කරවීමට උත්සහ කළ බවත් රටේ ජනතාව ඉතාමත් අර්බුදකාරී තත්වයක සිටියදී මිත්‍යා මත රට තුළ ව්‍යාප්ත කරවීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ හරහා රට බංකොලොත් වී නැති බවත් රට දියුණු වෙමින් පවතින බවත් රනිල් වික්‍රමසිංහ පිල විසින්ම රට තුල ප්‍රචාරය කරමින් සිටින බවත් පූජ්‍ය ධම්මදින්න ස්වාමීන් වහන්සේ පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති සමගි බුද්ධි මණ්ඩපයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය පූජ්‍ය ධම්මදින්න ස්වාමීන් වහන්සේ මේම අදහස් ප්‍රකාශ කර සිටියේය. මෙම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා සහ මහාචාර්ය ගාමිණී රත්න ශ්‍රී මහතා ද සහබාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය නගලගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ,

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පැමිණි පසු රට බංකොලොත් කළේ රාජපක්ෂවරු බව රටේ ජනතාවට අමතක කරවීමට උත්සහ කළා. ආණ්ඩුව කියනවා රට බංකොලොත් නෑ රට දියුණු වෙමින් පවතිනවා කියලා. මේ මිත්‍යාව රට තුළ ව්‍යාප්ත කරවීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ වගේම පුද්ගලයෙකුට මාසික වැටුපෙන් මාසයක් ජිවත් වීමට නොහැකියි. හමුවෙන වැටුපෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන, දරුවන්ගේ වැඩ කටයුතුවලට මුදල් වියදම් කළාට පසුව ඔහුට ඇඳුමක් ගැනීමට නොහැකි තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. ජනතාව බංකොලොත් කරලා රට බංකොලොත්භාවයෙන් මුදවා ගත්තා කියන මිත්‍යාව ජනගත කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. ඒ මිත්‍යාව දැන් ජනතාව පිළිගන්න සුදානම් නෑ. මිත්‍යාව තුළින් රටේ මැතිවරණයක් දිනන්න බෑ. රනිල් වික්‍රමසිහ ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතා ඉටු කරනවා මිසක් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නේ නෑ. මහජනතාව බංකොලොත්භාවයට පත් කරලා රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්නේ කොහොමද.

ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පසුගියා දා පාර්ලිමේන්තුවේදී හැසිරුණ ආකාරය සමගි බුද්ධි මණ්ඩපය අනුමත කරන්නේ නෑ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය බලාගෙන ඉන්නේ රටේ තිබෙන පක්ෂ කැඩෙනකන්. සමගි ජනබලවේගයෙන් කොටසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන බව බොරු ප්‍රචාර යවමින් ඡන්ද එකතු කිරිමේ විවිධ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඒ කුමන්ත්‍රණයට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ගොදුරුවෙලා සිටින්නේ. මෙවැනි කුමන්ත්‍රණවලට අහුවෙන පුද්ගලයන්ට දේශපාලනය කරන්න බෑ. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස වැනි දැක්මක් ඇති නායකයන් සිටින විට සරත් ෆොන්සේකා වැනි අවලංගු කාසි විසිවෙනවා. සරත් ෆොන්සේකා වැනි අවලංගු කාසි සමගි ජනබලවේගයෙන් ඉවත් වෙනවා කියන්නේ පක්ෂයේ ඉදිරි ගමනට එය ශක්තියක්. සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් නිසා සමගි ජනබලවේගය අපකීර්තියට පත් වෙනවා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ රට තුළ සිදුකරන්නේ බංකොලොත් දේශපාලනයක්. ඔවුන් ජනතාවගේ ජන විඥානය නැති කරන්න උත්සහ කරනවා. ඔවුන් ජනතාව විදින දුක පිළිබඳව රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ මිත්‍යාව පැටලිලා. එමෙන්ම සමාන්‍ය ජනතාව මුග්ධයෝය , මෝඩයෝය , අවබෝධයක් නැති පිරිසක් කියල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ හිතනවානම් ඔවුන්ට කවදාවත් දේශපාලනය කරන්න බෑ. අපේ රටේ ඡන්ද දායකයා බුද්ධිමත්. ඒ වගේම රටේ ඡන්ද දායකයා රවට්ටන්න උත්සහ කරන පිරිසට කවදාවත් වගතුවක් වුණේ නෑ. ඒ සියලු දෙනා අවසානයේදී ගියේ කුණු කූඩයට”