ජනාධිපතිවරයා පසුගිය දා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය තුළින් රටේ ජනතාවට සුභවාදී කිසිවක් නොලැබුන බවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ අනුගමනය කළ ප්‍රතිපත්ති ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම නිසා ඒ සියල්ලගේම වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව සමගි බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ දිනයේ (01) සමගි බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් රැස්වී මාධ්‍ය හමුවක් පැවැත්විය. මෙම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා, මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා , ආචාර්ය අජිත් සෙනෙවිරත්න මහතා සහ අධිනීතිඥ සඳමාල් රාජපක්ෂ යන මහත්වරුන් සහබාගී විය.

සමගි බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසු අදහස්,

“ජනාධිපතිවරයා පසුගිය දා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය තුළින් රටේ ජනතාවට සුභවාදී කිසිම දෙයක් ලැබුණේ නෑ. 2022 අප්‍රේල් මාසයේ සිට විදේශීය ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ලංකාව ජාත්‍යන්තරය තුළ බංකොලොත් රටක් බවට පත්වුණ අවස්ථාවේ සිටි පාලකයන් තමයි මේ ප්‍රකාශය සිදුකළේ. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ අනුගමනය කළ ප්‍රතිපත්ති ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරිම නිසා ඒ සියල්ලගේම වගකිම රනිල් වික්‍රමසිංහ ගතයුතුයි. රටේ ජනතාවට ආර්ථික වශයෙන් විශාල පීඩාවකට පත්වෙලා සිටින්නේ. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා සිදුකරන්න යන සුභ පණිවිඩය පිළිබඳව රටේ ජනතාවට දැඩි අවදානයකින් පසුවුණා. ජනාධිපතිවරයාගේ කතාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අතර කිසිදු වෙනසක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශනය තමයි ජනාධිපතිවරයා ජාතික අමතා ප්‍රකාශ කළේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය රටට අවශ්‍ය දෙයක්. මේ අනුව මුලින්ම ජනාධිපතිවරයා සිදුකළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය. ලංකාවට දේශීය වශයෙන් ගත්ත ණය ගෙවාගන්න හැකියාව තිබුණා. ඒ හැකියාව තාවත් තිබෙනවා. විදේශීය ණය ඩොලර්වලින් ගෙවීම තමයි ගැටලුවක් වුණේ. ලංකාව තුළ විදේශ විනිමය නොමැති තත්ත්වයක් ඇතිවුණා. උපයන විදේශ විනිමයට වඩා ගෙවන්න තිබුණ විදේශ විනිමය ප්‍රමාණය වැඩියි. මේ නිසා ජාත්‍යන්තර ණය ගෙවා ගන්න නොහැකි වුණා. ජාත්‍යන්තරව ගත්ත ණය ප්‍රතිව්‍යුහගතකරන්න වැඩසටහනක් අවශ්‍ය වෙනවා. එයා සිදුකරන්න ජනාධිපතිවරයා අසමත් වුණා. පසුගිය දා තමයි ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරන්න එකගතාවයකට එළඹුනේ. නමුත් එම එකතාවය පිළිබඳව කිසිදු විස්තරයක් නෑ. ණය නැවත ගෙවීම ආරම්භ කිරිම දීර්ඝ කිරිම ගැන පමණයි දැන ගන්න තිබෙන්නේ. ණය ගෙවීමට බැරී වීමත් සමඟ ගත්ත ණය වලින් යම් කිසි ප්‍රතිශතයක් කපා හරිනවා. නමුත් ලංකාව ගත්ත විදේශීය ණය වලින් කිසිදු මුදලක් කපා හැරිමට ලක් කලේ නෑ. ණය ගෙවන්න තිබෙන කාලය දිර්ඝ කරලා තිබෙනවා. දීර්ඝ කරපු කාලයටත් අපට පොලියක් ගෙවන්න සිදුවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කිරිමෙන් රටට සුබවාදී දෙයක් සිදුවෙලා නෑ. රටේ ජනතාවට දැනෙන ප්‍රතිලාභයක් නිර්මාණය කරන්න ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනින් ඉඩක් ලැබිලා නෑ. ඒ වෙනුවට තවත් ජනතාව පීඩාවට පත්වන තත්ත්වයක් තමයි ඇතිවෙලා තිබෙන්නේ”