නියෝජ්‍ය කතානායක පුටුව කාන්තාවකට ලබා දිය යුතු යැයි පොදු මතයක් මතුව තිබේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තාවක්, කතානායක/නියෝජ්‍ය කතානායක ධූරයට පත්වී නොමැති බැවිනි.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කුමාරි විජේරත්න, නැතිනම් රටම දන්න රෝහිණී කවිරත්න ගේ නම නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා වී තිබේ. පසුගිය අවස්ථාවේ දී මෙන් අවසන් තප්පරයේ දී අවස්ථාවාදී දේශපාලන විනාශයක් සිදු නොවන්නේ නම්, රෝහිණී කවිරත්න නිතරඟයෙන් එම තනතුරට පත්වනු ඇත.
මේ අද දේශපාලන ලෝකයම කතා කරන රෝහිණී කවිරත්න ගැනයි.
රෝහිණී ලංකා පාර්ලිමේන්තුවේ දීර්ඝතම දේශපාලන පවුලේ සාමාජිකාවකි. එය ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ ද වාර්තාවකි.
රෝහිණී ගේ අත්තා (සීයා), තාත්තා, ස්වාමිපුරුෂයා, මාමා ද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. පරම්පරා පහක් අඛණ්ඩව නියෝජනයක් ලංකා පාර්ලිමේන්තුවේ හේ ලෝකයේ වෙනත් තැනක නැත.
රෝහිණී, පාර්ලිමේන්තුවේ ආර්ථිකය, අධ්‍යාපනය, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිඳව වැඩියෙන්ම කතා කරන ලැයිස්තුවේ කෙනෙකි. පසුගිය වසර දෙක තුල වැඩිම අවස්ථා ගණනාවක් පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ මන්ත්‍රීවරිය ද ඇයයි.
ගණිත ගුරුවරියක වූ ඇය, මධ්‍යම පළාතේ දරුවන් අතර සිටි ජයප්‍රියම වෘත්තිකයෙකි.
2015 මහා මැතිවරණයෙන් මුල්වරට පාර්ලිමේන්තුව පැමිණි ඇය, 2020 මැතිවරණයෙන් මාතලේන් නැවතත් ජයගත්තාය.
පසුගිය වසර දෙක තුල ඇය පාර්ලිමේන්තුවේ කැපී පෙනුණාය. කෘෂිකර්මාන්තය, ආර්ථිකය, අධ්‍යාපනය ගැන ඇය යේ හඬ පාදඩ දේශපාලනඥයින්ගේ කෝපයට හේතුවිය. පොහොර තහනම, චීන අශුචි නැව, නැනෝ වංචාව ගැන ඇය කළ හෙළිදරව්වට පාදඩ දේශපාලනඥයින් ප්‍රතිචාර දැක්වූවේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය ගඳ ගැස්සවූ ‘වම්බටු – පලා‘ කතාවෙනි. දෛවයේ සරදමක් ලෙස දෝ, එ් කතාව සිදු කරන විට පාර්ලිමේන්තුවේ මුලසුන දැරූවේ නියෝජ්‍ය කතානායක ධූරයට නම් යෝජනා වී සිටින අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ය.
විජේරත්න – කවිරත්න පවුල
ලග්ගල ආසනය නිර්මාණය වීමෙන් පසුව එහි පළමු මන්ත්‍රීවරයා බවට 1965 පත්වන්නේ එම්.ඒ.මුතුබණ්ඩා ය. ‘ලග්ගල වෙස්සන්තර‘ නමින් ප්‍රකට වු මුතුබණ්ඩාගේ දුව විවාහ වන්නේ විජේරත්න බණ්ඩා සමඟ ය. 1977 ලග්ගල අසුන දිනා, කෘෂිකර්ම සංවර්ධ අමාත්‍යවරයා බවට ඔහු පත්වන්නේය.
1977 රත්තොට අසුන ජයගත්තේ එජාපයේ පී.බී.කවිරත්න ය. රෝහිණී විවාහ වූවේ කවියෙකු වූ පී.බී. ගේ පුතා සංජීව කවිරත්න සමඟ ය.
ලංකාවේ තබා ලෝකයේ කිසිම තැනක එකම පවුලේ පරම්පරා පහක් එකම ඡන්ද කොට්ඨාශයක් ජයගෙන නැත. එය ලෝක වාර්තාවකි.
රෝහිණී, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ, ඉගෙන ගෙන ඒ ඉස්කොලේ ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කළේය. කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, වේරගම පරාක්‍රම, ඇතුළු පාසල් කිහිපයක ජයප්‍රියම විද්‍යා ගණිත ගුරුවරිය වුණු ජීවත් වුනේ ලග්ගල – රත්තොට ය. බෙහෙත් ගත්තේ ගමේ රෝහලෙනි. සති අන්තයේ නම්, රත්තොට කඩ මණ්ඩියේ, මාතලේ නගරයේ, විල්ගමුවේ ඈත ගමක ය.
මාතලේ මැර දේශපාලනයේ උච්චතම අවස්ථාවේ දී, ගැබිනියක්ව සිටින විට මැර ප්‍රහාරයකට ලක් වන ඇය ශල්‍යකර්ම තුනකට භාජනය වී දිවි බේරාගත්තාය. ඇයගේ නිවාස, හෝටල්, මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් සිව් වරක් විනාශ වූවේය.
පරම්පරාවෙන් දේශපාලනය පිවිස හැකියාවෙන්, දක්ෂතාවයෙන් ලංකා දේශපාලනයේ ස්ථාවර වූ රෝහිණී කවිරත්න, යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් පැත්තක තියලා මොරගහකන්ද ව්‍යාපාරයෙන් පිඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් කැපවෙනවා.
වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක ධූරය පිළිබඳ ඇත්තේ යහපත් ප්‍රතිරූපයක් නොවේ. මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව සභාවේ ගෞරවය රකින්නටත් එයට හැකිවී නෑ. අවම වශයෙන් රෝහිණී කවිරත්න ඉලක්ක කර කියූ අශිශ්ඨ ‘වම්බටු -පලා කතාව‘ වරප්‍රසාදය කඩවීමක් ලෙස හෝ පාර්ලිමේන්තුව සලකා නෑ. ඒ වචන හැන්සාඩ් වාර්තාවෙන් වත් ඉවත් කර නෑ.
ෆීනික්ස් කුරුල්ලන් ගින්නේ අලු මතින් නැගිටිනවා වගේ, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විහිළුවක් කර ඇති යුගයක, නියෝජ්‍ය කතානායක තනතුර විකාර රූපී පත් කිරීම්, ඉල්ලා අස්වීම් මාලාවක නාටකයක් වී ඇති පසුබිමක රෝහිණී කවිරත්න නම මතුවී තිබෙනවා.
ලංකා පාර්ලිමේන්තුව කොතරම් ශිෂ්ඨ තැනැක්දැයි ලබන අඟහරුවාදා නැවත පරීක්ෂාවට ලක් වනු ඇත.