තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රජයට සහාය දැක්වීමට සූදානම් බවට විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් කබීර් හෂීම් මන්ත්‍රීවරයා සිදුකර තිබෙන පැහැදිලි කිරීම පහත අපි පළකරමු.

“මම සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රජයට සහය දැක්වීමට යන බවට පුවතක් විවිධ මාධ්‍ය තුළ පැතිර යන බව දැන ගන්නට ලැබුණි. මෙම පුවත තරයේ ප්‍රතික්ෂේප කිරීමටත්, මගේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, මෙය මම අවස්ථාවක් කර ගනිමි.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාට කොන්දේසි හතරක් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලදී. මගේ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම කොන්දේසි, ජනතාවගේ හඬ නියෝජනය වන, අතිශය සාධාරණ කොන්දෙසි වන බවත්, පක්ෂයේ මෙම ස්ථාවරය සමඟ මම එකඟ වන බවත්, ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. පක්ෂයේ සහ මගේ ප්‍රතිපත්ති කිසිදු ආකාරයෙන් පාවා නොදෙන බව මෙහිලා ප්‍රකාශ කල යුතුය.

අප රටේ ජනතාව මුහුණ දී ඇති අභියෝග තේරුම් ගෙන ඒවාට ස්ථිරසාර විසඳුම් ගෙන ඒම සඳහා සහය වීමට අපි නිරන්තරයෙන්ම ඇප කැපවී සිටිමු. ඒ අනූව, රජය ඉදිරිපත් කරන ඕනෑම ධනාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයකට සහාය දීමට අපි කැමැත්තෙමු. එසේ සිදුකරන අතරතුර, #gotagohome සහ මේ රටේ ජනතාව ඉල්ලුම් කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නොපැකිලිව සටන් කිරීමට බැඳී සිටිමු.”