ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න තමන්ට ආණ්ඩුවේ කාගෙවත් ටියුෂන් උවමනා නැති බවත්, මේ රටේ හැටනව ලක්ෂයක් ජනතාව ඇන්දූ ආණ්ඩුවට උත්තර දෙන්නට අවස්ථාව එනතුරු ජනතාව බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ට වැරදුණු බවට ආණ්ඩුවේ සමහරු දැන් පාපොච්චාරණය කරන බවත් එතන තිබෙන්නේ රටේ ජනතාව ඇන්දවීම පමණක් බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩුව කරන සියල්ල මාධ්‍ය සංදර්ශන පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා,

හොඳ බීජ ලබා දෙන ලෙසත්,වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙසත්,අස්වැන්න අලෙවි කර ගන්නට වටපිටාව සකසා දෙන ලෙසත් ගොවි ජනතාව ආණ්ඩුවෙන් දස අතේ ඉල්ලීම් කළත් ආණ්ඩුවට ඒ කිසිවක් ඇහෙන්නේ නැති බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගොවි ජනතාවගේ ගැටළු විමසන “ගොවි හදගැස්ම” වැඩ සටහනේ තවත් අදියරක් අද (10) අනුරාධපුරයේ නොච්ච්යාගම කොකුන්නෑව ප්‍රදේශයේ දී පැවති අතර එම අවස්ථාවට සහභාගී වීමට පෙර විපක්ෂ නායකතුමා, නොච්චියාගම කොකුන්නෑව රන්ගිරි රජමහා විහාරයට පැමිණ, එහි විහාරාධිපති පූජ්‍යපාද මිලෑවේ ස්වර්ණපාල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විපක්ෂ නායකතුමා ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවිය හමුවිය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුරාධපුරයට පැමිණ වත්මන් ආණ්ඩුව කියා සිටියේ නොමිලේ පොහොර දෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එදා ඔවුන් උතුම් පූජා භූමියට පැමිණ දුන් පොරොන්දුවත් ආණ්ඩුව කඩා බිද දමා ඇතැයිද පැවසීය.

අද ගොවි පවුල් දසලක්ෂ ගණනින් රට තුළ අනාත වී ඇති බව පැවසූ ඒ මහතා ආණ්ඩුව ඊට සංවේදී නොවන බවද පැවසීය.

ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ ඇති කැමැත්ත අකමැත්ත ජනතාව ඉදිරියට ගොස් විමසන්නැයි තමන් ඉල්ලා සිටින විට ආණ්ඩුව ඒ පිළිබඳව මායිම් නොකළ නමුත්, විදෙස් රටවලින් පැමිණ පලාත් සභා තියන්නැයි කී විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවධානය යොමු කොට ඇති බව ද විපක්ෂ නායක තුමා පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණ බණ්ඩාර, හිටපු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, හිටපු අමාත්‍ය පී හැරිසන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.