සීමාසහිත පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් (CPSTL) විසින් නියමිත ප්‍රමිතියෙන් තොර බාල ඩීසල් ගොඩබෑමට අවසර දී ඇති බව වාර්තා වෙනවා.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලකාය (SUTUF) කැදවුම්කරු සහ ප්‍රකාශක ආනන්ද පාලිත සදහන් කලේ CPSTL රසායනාගාරයට පරික්ෂා කිරීමට යවන ලද ඉන්ධන සාම්පල් දෙකම ප්‍රමිතියට අනුකූල නොවන බවය.

නොවැම්බර් 05 වනදා පැමිණි “MT FOS POWER” නෞකාවෙන් LIOC නියෝජිතයකු පරික්ෂා කිරීම සදහා නෞකාවට ගිය සංචාරයේදී ඩීසල් තොගය හොද තත්වයේ නොමැතිබව අනාවරණය වුවද ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඉහළ කළමණාකාරීත්වයේ තීරණය අනූව තොග ගොඩබෑමට තීරණය කල බවයි ඔහු සදහන් කරන්නේ.

මේ අතර ප්‍රමිතියෙන් තොර මෙට්‍රික් ටොන් 40,000 ක බාල ඩීසල් තොගයක් වෙළදපළට නිකුත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්‍තුවේදී අනාවරණය කලා.

ඩීසල් තොගයේ සාම්පල වල LIOC රසායනාගාර පර්‍යේෂණ වාර්තා දෙකකින් එය බාල තත්වයේ පවතින බව අනාවරණය වී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්‍යන්තය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඩීසල් තොගයේ පර්‍යේෂණ කටයුතු තවදුරටත් සිදුවන බැවින් එහි ප්‍රතිඵල අනූව ඒවා ගොඩබෑම පිළිබද තීරණය කිරීමට නියමිත බවයි.