පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමට දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
පොහොර බෙදා ගන්නට බැරි ආණ්ඩුව එය හමුදාපතිවරයාට භාර දෙන නමුත් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමතිවරු නඩත්තු වීම මොන තරම් අපරාධයක්ද යි පැවසූ විපක්ෂ නායකතුමා, ජනාධිපතිවරයා මෙහිදී ඇති සංඥාව වන්නේ තමන්ගේ කෘෂිකර්ම අමාත්‍යවරයාත්,පොහොර අමාත්‍යවරයාත්, සියලු නිලධාරිනුත් අසාර්ථක බව යැයි පැවසීය.

ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බවත්,එහෙත් තමන්ට රාජ නිලධාරීන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකතුමා කළ යුතු වන්නේ මනා කළමනාකාරීත්වයකින් ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම බව ද පැවසීය.

කෘෂිකර්මාන්තය අරඹයා ආණ්ඩුව විසින් ගනු ලබන මේ අදූරදර්ශි අන්තනෝමතික ක්‍රියා මාර්ග හේතුකොටගෙන ඉතාම ඉක්මනින් රටට සාගතයක් උදාවීම වලක්වන්නට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන හරහා බූන්දල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී චන්ද්‍රාලෝක දහම් පාසැලේ සිසුදරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා ලක්ෂ විසිපහක වියදමක් දරා ඉදිකරවූ දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් අද (09) විවෘත කරනු ලැබීය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර, සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක සුභක ප්‍රදීප්, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක සමන් පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා අපේක්ෂක රංග රන්හොටි ඇතුලු පිරිසක් සහභාගී විය.