සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු අද (09) ලිට්‍රෝ ගෑස් සමාගමේ නිරීක්ෂණයකට ගොස් තිබුණි.

ජේ.සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන් සහ වේලු කුමාර් යන මන්ත්‍රීවරුයි එලෙස එම අවස්ථාවට එක්ව සිටියේ.

ගෑස් සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු දැනගැනීම සඳහා ඔවුන් එලෙස ලිට්‍රෝ සමගම වෙත ගොස් තිබුණු අතර එහිදී එම මන්ත්‍රීවරුන්ට සමස්ත ක්‍රියාවලියම නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේ මේ වන විට අලුතෙන් නිකුත් කරන ගෑස්, ප්‍රමිති නිර්දේශ අනුව ආරක්‍ෂිත ගෑස් ලෙස පෙනෙන්නට තිබුණු බවයි.

කෙසේවෙතත් තවදුරටත් ගෑස් සම්බන්ධ පිපිරීම් වාර්තා වෙමින් තිබෙන නිසා එම හානි වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනමින් කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එමෙන්ම මෙම ගෑස් සම්බන්ධ ප්‍රශ්නය මතු වීම සඳහා වගකිව යුතු සියලු පාර්ශව හඳුනාගත යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.