ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් 8කට පමණ වෙන්වී තිබෙන බවත් ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුව සදහටම නැති වී යන බවත් මුජිබර් රහ්මාන් මහතා පවසනවා.

ජනාධිපතිවරණයකට පෙර මහා මැතිවරණයක් පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ විසින් නැවත වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලකර තිබෙන අතර රාජපක්ෂලාව බේරගන්න ගෙනාපු රනිල් වික්‍රමසිංහව ඔවුන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට නොහැකි වී තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු සාමාජිකයන්ගේ සහයෝගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානමින් සිටින බවත් මුජිබර් රහ්මාන් මහතා මෙහිදී සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහ්මාන් මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

‘‘බැසිල් රාජපක්ෂ නැවත ජනාධිපතිවරයාට බලකරලා තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න කියලා. රාජපක්ෂලාව බේරගන්න ගෙනාපු රනිල් වික්‍රමසිංහව ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන් නොහැකි වෙලා තිබෙනවා. බැසිල් රාජපක්ෂලා උත්සහ කරනවා ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ නැතිව ජනාධිතිවරණයක් තියන්න උත්සහ කරනවා. මොකද ඔහු විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් ඔහුට උදව් කරාවි කියලා. රාජපක්ෂලා ජනාධිපතිට විශාල බලපෑමක් සිදුකරනවා පාර්ලිමේන්තු මැතිවරණය තියාගන්න. ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් පොහොට්ටුවට මන්ත්‍රී ආසන 25 ක් හෝ දිනාගැනීමට හැකි බව රාජපක්ෂලා විශ්වාස කරනවා. නාමල් රාජපක්ෂ දාලා බලනවා පොහොට්ටුව පිපෙනවද කියලා බලන්න. නමුත් පොහොට්ටුව ආයේ පිපෙන්නේ නෑ. ඒක පරවෙලා තිබෙනවා. පොහොට්ටුවට මී මැස්සො ඇදෙන්නේ නෑ. එකේ ඉන්නේ නිල මැස්සෝ. පොහොට්ටුව දැනටම කැලි 8 කට කැඩිලා ගිහින් තිබෙන්නේ. ඊළඟ මැතිවරණයේදී සිදුවන්නේ පොහොට්ටුව සදහටම නැතිවෙලා යන එකයි.‘‘