ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වසර පහකට වරක් චන්දය පැවැත්වීම පමණක් නොවෙයී. ජනතාවගේ ජීවිත ගැන නිදහස් උරුමයන් ගැන බරපතල තීන්දු තීරණ ගැනීම් වලදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම, අදහස් ලබා ගැන්මද සිදුවිය යුතුව තිබෙනවා.
එසේ නැතිව අදාල කරුණු වලදී අදාල පාර්ශවයන් වල අදහස් මායිම් නොකර, සාකච්ඡාවනට නොගොස් හිතුවක්කාර ලෙස, උද්ධච්ඡ ලෙස අධිපතිවාදී ලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන්නේ නැහැ.
පෞද්ගලික දත්ත ආරක්ෂණය සඳහා නීතියක අවශ්‍යතාවය ගැන විවාදයක් නැහැ.ඒක කව්රුත් පිළිගන්නා කරුණක් විශේෂයෙන් අද වගේ ඩිජිටල් යුගයක ඒ අවශ්‍යතතාවය අවිවාදිතයී.
ලෝකයේ ප්‍රථම වරට දත්ත ආරක්ෂණ නීතියක අවශ්‍යතාව මතුකරන්නේ යුරෝපා සංගමය. 1981 දී යුරෝපා සංගමය දත්ත ආරක්ෂණය පිළිබඳ සම්මුතියක් ප්‍රථම වරට සම්මත කරගෙන තිබෙනවා.
මේ මගින් දත්ත හිමිකරුවන්ගේ මෙන්ම දත්ත භාවිතා කරන්නන්ගේද, සමස්ත සමාජයේමද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරුණා. එක්සත් රාජධානියද 1998දී මේ සම්මුතිය අනුගමනය කරමින් බ්‍රිතාන්‍ය දත්ත ආරක්ෂණ පනත නීතිගත කර තිබෙනවා.
ලෝකයේ රටවල මේ දත්ත ආරක්ෂන නීති සම්මත කරන්නේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් වුවද ඒවා සම්මත කිරීමෙන් අනතුරුව, භාවිතය පිළිබඳව නොයෙකුත් රටවල ගැටළු ඇතිවී තිබෙනවා. බොහෝ රටවල දත්ත ආරක්ෂන නීතිගත කිරීමේදී ජනමාධ්‍ය සම්බන්ධයෙන් යම් නිදහසක් ලබාදීම අප දකිනවා.
ඉන්දියාවේ එවැනි නිදහස් කිරීමක් ඔවුන්ගේ කෙටුම්පතේ දකින්න පුලුවන්. එසේ වුවද ඊට වඩා සහනයක් ඉල්ලමින් අද ඉන්දියාවේ ජනමාධ්‍යවේදීන් උද්ඝෝෂනය කිරීම අප දකිනවා.
අද අගමැතිවරයා ඉදිරිපත් කර ඇති මේ කෙටුම්පතේ අභිලාෂය පුරවැසි පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම බව දක්වා තිබුණද, ඒ පිළිබඳව ඇති ගැටළුකාරී තත්වයන් ගැන ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාජය, භේදයකින් තොරව විශාල කැළඹීමකට පත්ව තිබෙන බව පෙනෙනවා. Daily ft සහ Daily mirror ඊයේ මේ ගැන පළමු පිටේම වාර්ථා කර තිබුණා.
මාධ්‍ය සමාජයේ පැරණිම සහ ප්‍රධාන සංවිධාන සියල්ල මේ ගැන ජනමාධ්‍ය සහ අධිකරණ අමාත්‍යවරුන්ට යවා ඇති ඒකාබද්ධ ලිපිය ගැනද මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙන්ම ට්‍රාන්ස් පේරන්සි ශ්‍රී ලංකා ආයතනයද මුල් අවස්ථාවේදීම මේ ගැන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකරමින් කරුණු ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකාවේ කර්තෘ සංසඳය “ දත්ත ආරක්ෂන පනතට කර්තෘ සංසඳ කණගාටුව” මැයෙන් ප්‍රසිද්ධ කර ඇති ප්‍රකාශය හැන්සාඩ් ගත කිරීම සඳහා මම ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබතුමන්ගේ අවසරයද මම පතනවා.
මම කැමතියී එම ප්‍රකාශයෙන් උපුටා දැක්වීමක්ද කරන්න. මේ ප්‍රවණතාවය ඒ තරම් රටට සුභදායී වන්නේ නැහැ.
මම කැමතියී මීලගට මෙම පනත් කෙටුම්පත මේ අයුරින්ම නීතියක් බවට පත් කළහොත් , “ එය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ බියගැන්වීමක් ඇතිකරන්නක් ලෙස භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වනු ඇති බව” සඳහන් කරමින් ට්‍රාන්ස් පේරන්සි ශ්‍රී ලංකා ආයතනය නිකුත් කර ඇති ප්‍රකාශනයෙන්ද උපුටා දැක්වීමක් කරන්නට.
මෙහිදී ට්‍රාන්ස් පේරන්සි ආයතනය ජනතාවගේ නිදහස් අයිතිවාසිකම් පිළිබඳව ඇතිවන අහිතකර බලපෑම් හා සම්බන්ධ මූළික කරුණු තුනක් ගැන දැඩි අවධානය යොමු කරනවා.
පළමු කරුණ ලෙස ඔවුන් දක්වන්නේ, ජනමාධ්‍ය කෙරෙහි ඇතිකරන බරපතල බලපෑමයි
දෙවෙනි කරුණ ලෙස ඔවුන් දක්වන්නේ, දත්ත ආරක්ෂන අධිකාරිය ස්වාධීන ආයතනයක් නොවීම සහ එයට ලබාදී ඇති මහත්වූ පුලුල් බලතල ගැනයී
තුන්වන කරුණ වනුයේ, තොරතුරු දැනගැන්මේ අයිතිය මත ඇතිකරන බලපෑමයී. දැන් මම කැමතියී, මේ කරුණු තුන ගැන විවිධ සංවිධාන මතුකර ඇති කරුණු ගැන සභාවේ අවධානය යොමු කරන්න. අද අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගම් පාර්ලිමේන්තු, මානව අයිතීන් සංවිධාන නොයෙකුත් ප්‍රශ්න, සැක සංකාවල් ඇතිකරලා තිබෙන යුගයක, අපේ රටේ මාධ්‍ය සමාජය සමගත් ගැටුම් ඇතිකර ගන්න තත්වයකට යාම සුදුසු නැති බව රජයට කරුණාවෙන් සිහිපත් කර සිටින්නට මම කැමතියී.
2002 වසරේදී පුවත්පත් මණ්ඩල පනතත්, දණ්ඩනීති සංග්‍රහයත් සම්බන්ධ අපරාධ නීතියත් සංශෝධනය කරමින් සාපරාධී අපහාසය පිළිබඳ වගන්තිය ඉවත් කිරීමට එදා පැවැති රජය කටයුතු කළ අයුරු මගේ මතකයට එනවා. ඒ වගේම 2003 වසරේදී තොරතුරු දැනගැන්මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළා. ඒත් 2004 දී රජය පරාජයවීම හේතුවෙන් එය ඉදිරියට ගෙන යන්නට බැරිවුණා. 2004 සිට 2015 දක්වා පැවැති රජය එය යටපත් කරගෙන සිටියා. පසුව 2016 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජය සම්මත කරගන්නට කටයුතු කළා. 2004 දී එය සම්මත කර තිබුණා නම් දකුණු ආසියාවේ තොරතුරු දැනැගැන්ම පිළිබඳ අයිතිය ලබාදෙන ප්‍රථම රට ශ්‍රී ලංකාව වන්නට ඉඩ තිබුණා.
මේ අයුරින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු කරන ප්‍රගතිශීලී වාතාවරණයක් ඇතිකිරීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ එදා ශ්‍රී ලංකාව ගැන හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගී තිබුණා. ඒ තත්වය වෙනස් කරන මෙවැනි පියවරවල් ගැන්ම තුළින් අපි ලෝකයෙන් කොන් වෙනවා. හුදෙකලා වෙනවා. ශ්‍රී ලංකාවේ කීර්තිනාමය නැතිවෙනවා.
අද උතුරේ උදවිය පමණක් නොවේ, මේ රටේ හැම ජනකොටසක්ම යුක්තිය ඉල්ලමින්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වන්නට කියා ජිනීවා යනවා. බ්‍රසල්ස් යනවා. මේ විදියට අපේ ප්‍රශ්න අරගෙන ජිනීවා යන එක, ජාත්‍යන්තරයට යන එක එදා යුගයේ පටන්ගත්තු ආරම්භකයෙක් අපේ අගමැතිතුමා.
පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලැබුණම ඔලුව නරක් කරගන්න පාලකයන් ජනතාවගෙන් ඈත්වීමත්, ජනතාවට සංවේදී නොවීමත්, ප්‍රශ්ණ වලට විසඳුම්දීගත නොහැකි වුණාම මර්ධනයට යාමත් අපි අපේ රටේ ඉතිහාසයේත්, ලෝක ඉතිහාසයේත් දකින දෙයක්. එම නිසා ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන දැන්වත් නිවැරදි වෙන්න උත්සාහ කරන්න කියලා රජයේ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පනතින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීනට සිදුවන හානිකර බලපෑම් ගැන මාධ්‍ය සමාජය සහ මානව අයිතීන් ගැන උනන්දුවන මේ රටේ සංවිධාන ඉදිරිපත් කර ඇති කාරණා ගැන ඔවුන් සමඟ සහ ජනතාව සමග පුලුල් සංවාදයකට යන්න.
මාධ්‍ය සමාජය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් හඬනගන සංවිධාන සමග ගැටුමකට නොගොස්, මෙම පනත සම්මත කර දැමීම කල් දමා, ඉදිරිපත් කර ඇති කාරණා ගැන සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගැන්මට උන්නදු වීමේ වැදගත්කම රජයට යෝජනා කර සිටිනවා. ප්‍රශ්න තවත් වැඩිකරගන්නේ නැතිව, ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරන හැසිරීමකට යන්නට සූදානම් වෙන්න කියා ඉල්ලා සිටිනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවධානය සඳහා ධම්ම පදයේ එන ගාථාවක් උපුටා දක්වා මගේ කථාව සමාප්ත කරගන්නට අවසර දෙන්න කියා මූලාසනයෙන් ඉල්ලා සිටිනවා.
“අසාරේ සාර මතිනෝ
සාරේ චා සාර දස්සිනෝ
තේ සාරං නාධි ගච්ඡන්තී
මිච්ඡා සංකප්ප ගෝචරා”
“නිසරු දෙය සරු වශයෙන් අවබෝධ කර ගත්, සරු දෙය නිසරු ලෙස අවබෝධ කර ගත්, මිත්‍යා සංකල්පනාවනට ගොදුරු වූවෝ, නිසරු ප්‍රතිඵලම ලබන්නාහුය.”
අද ආණ්ඩු පක්ෂය තුළ අපි දකිමින් සිටින නාය යාම තුළ අපි දකින්නේ මේ ගාථාවෙන් කියැවෙන දේ බව සිහිපත් කරන්නට මම කැමතියී