පාස්කු ප‍්‍රහාරය සිදුවි අදට දින දහසක් සම්පූර්ණ වන බවත් ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් බවට ජනාධිපති කොමිසමෙන් නම් කර ඇති අය ආණ්ඩුව යම් යම් තැන්වල තබාගෙන සිටින්නේ හා රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ඇත්තේ කුමක් නිසාදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කිරීමට ගියහොත් මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ, තවත් පොලිස් නිලධාරින්ගේ කටවල් ඇරී පාස්කු ප‍්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි යන්න හෙළිවේදැයි යන බිය නිසා මේ ගැන පරීක්ෂණ යට ගැසීමට කටයුතු කරනවාදැයි මන්ත‍්‍රිවරයා ප‍්‍රශ්ණ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.  

දැන් හැමෝම පෝලිම්වල ඉන්නේ. විපක්ෂය දැන් සැපද කියලා අහන්නේ නෑ. මිනිස්සුන්ට තියෙන අපහසුතාවය හමුවේ බොර දියේ මාළු බාන්න සූදානම් නෑ. ඒ නිසා වෙන්න ඇති විපක්ෂය පණ මදි කියලා සමහරු කියන්නේ. ජනතාවට කන්න නැතත්, බොන්න නැතත්, තෙල් නැතත්, කිරිපිටි නැතත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නෑ.

දැන් ආණ්ඩුව මහත් උවමනාවෙන් බැදුම්කරවලට ගෙවන්නේ කාගේ හරි සාක්කු පුරවන්නද? රටට මොන විනාශය වෙලා ගියත්, හොරකම් කරන්න පුලුවන්නම්, කීයක් හරි සාක්කුවට දාගන්න පුලුවන්නම්, ඒ සල්ලි උගන්ඩාවට යවන්න පුලුවන්නම්, පැනමාවේ තැන්පත් කරන්න පුලුවන් නම් ඒකට සූදානම් කණ්ඩායමක් තමයි දැන් ඉන්නේ.

අද දවස පාස්කු ප‍්‍රහාරය සිදුවෙලා දවස් දහසක් සම්පූර්ණ වෙනවා. ඒ හරහාම බලයට පත් ආණ්ඩුව ඒ ගැන තීන්දුවක් ගැනීමට සිිටින අය, ඒ අය හිරේ දාන කාලයක් ඇවිත්. පාස්කු ප‍්‍රහාරයට දින දහසක් සම්පුර්ණ වන දවසේ තේවත්තේ පල්ලියේ තියෙන ආගමික වතාවත්වලට ජනතාව සහභාගීවීම වැලැක්විම සදහා ඉතාමත් සූක්ෂම උපක‍්‍රම භාවිතා කරමින්, කාදිනල්තුමන් කියන ආකාරයට ඉතාමත් කැත විදියට පල්ලියක බෝම්බයක් ඇටවීමක් පවා සිදුවෙලා තියෙනවා.

ඒවා කළේ කවුද කියලා අපි දන්නේ නෑ. මේ වගේ වැරදි සහගත සිදුවීම් කරලා, පාස්කු ප‍්‍රහාරය මතින් බලයට පත් ආණ්ඩුවක් මේවා යට ගහන ආණ්ඩුවක් බවට පත්වෙලා. පාස්කු ප‍්‍රහාරය යට ගහන ආණ්ඩුවක් බවට පත්වෙලා

පාස්කු ප‍්‍රහාරයට සැකකරුවන් බවට පත්වෙලා ඉන්න ජනාධිපති කොමිසමෙන් වරදකරුවන් හැටියට නම් කරලා ඉන්න අය යම් යම් තැන්වල තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අය රජයේ සාක්ෂිකරුවන් බවට පත් කරලා තියෙනවා.

ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව නීතිය ක‍්‍රියාත්මක කරන්න ගියොත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ, තවත් පොලිස් නිලධාරීන්ගේ කටවල් ඇරුනොත් මේවා කළේ කවුද කියලා හෙළිවන නිසා තමයි මේවා යට ගැසීමට කටයුතු කරන්නේ.