“මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ලංකාවේ මිලියන 6.1 ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. ඒ නිසා මේ තරම් රටට විනාශයක් වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ.” යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

“රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා. ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන. මොකක්ද මේ ආකල්පය. රටට මෙහෙම වෙලා තියෙන්නේ දුර්දාන්ත පාලකයින්ගේ වැඩ නිසා. ඒ නිසා මෙවර නත්තල් සතුටින් සමරන්න අපිට බෑ” යැයිද උන්වහන්සේ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (21) රාත්‍රි කළුතර සිරි කුරුස විද්‍යාලයේ දී “බලාපොරොත්තු වේ උපත” නමින් පැවැත්වූ නත්තල් කැරොල් ගී ප්‍රසංගයකින් පසු අදහස් දක්වමිනි .

“නත්තල් කියන්නේ රතිඤ්ඤා කෑම බීම සැරසිලි නොවෙයි. නත්තලට ලබාගන්න දෙයට වඩා වැදගත් වන්නේ දෙන දෙය. ඒ නිසා මෙවර නත්තල් සමරන්න ඔබේ ප්‍රදේශයේ කන්න බොන්න නැති අසරණ දුප්පත් එක් පවුලකට හෝ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ දේශණා කර තියෙන්නේ එයයි. ඒ නිසයි උන්වහන්සේ ගව මඩුවක ඉපදුනේ. ඒ දේශනාවට අනුව පරිත්‍යාගය උතුම්” යැයිද පැවසීය.