ඉදිරි මාස දෙක තුන අතිශය තීරණාත්මක බවත්, ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට තල්ලු වී යමින් ඇති බවත් මේ තත්ත්වය තුළ තෙල් ගෙන්වීම, අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම පවා බරපතළ අවිනිශ්චිත තාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පැවසීය.

අද ආණ්ඩුව ලෝකෙ පුරා යමින් රටවල් ඉදිරියේ වැඳ වැටෙමින් ඩොලර් ඉල්ලා දණ ගසන බවත් ඩොලර් සංචිත නොමැතිකම හේතුවෙන් සිදුවන බරපතල ඛේදවාචකයේ තරම තවමත් ආණ්ඩුව අවබෝධ කොටගෙන නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
එක් අතකින් රට තුළ ආගම්වාදය ජාතිවාදය වර්ගවාදය වපුරවන ආණ්ඩුව දේශප්‍රේමී ලේබලය ගසා ගෙන ඊට මුවාවී කටාර් ඕමාන් ඇතුළු රටවල් වලින් පවා ඩොලර් සොයා යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, මෙය ආණ්ඩුවේ දිව දෙකේ දේශපාලන යැයිද පැවසීය.

ආණ්ඩුව පැමිණි විගසම ලබාදුන් ලබාදුන් බදු සහන හේතුවෙන් ආණ්ඩුවේ ගජමිතුරන්ගේ මඩිය තර වූ නමුත් රටට එය මරු පහරක් වූ බව පැවසූ විපක්ෂ නායකතුමා, කොරෝනා සමයේ ලංකාව අවට ඇති සියලුම රටවල් පාහේ ආයෝජනයෙන් ශක්තිමත් වූ නමුත් අස්ථාවර ශ්‍රී ලංකාවට කිසිදු ආයෝජකයෙක් පැමිණියේ නැති බවද පැවසීය.

වර්තමානයේ ණය ශ්‍රේණිගත කිරීම් අතරින් ශ්‍රී ලංකාවක් බරපතළ අඩියකට වැටී ඇති බැවින් සහන පොලියට ණය ලබා ලබා ගැනීමේ හැකියාවක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා අසාර්ථක මූල්‍ය කළමනාකාරීත්වය මේ ඛේදවාචකයට හේතු වූ බවද පැවසීය.
හුදෙක් ජනප්‍රියත්වය නඩත්තු කිරීම වෙනුවෙන් එදා වේල ටුවර්ස් දේශපාලනයක් මේ ආණ්ඩුව විසින් සිදුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා ප්‍රශස්ත රාජ්‍ය පාලනයක සේයාවක්වත් ආණ්ඩුව තුළින් දකින්නට නැති බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන හරහා බූන්දල ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී චන්ද්‍රාලෝක දහම් පාසැලේ සිසුදරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා ලක්ෂ විසිපහක වියදමක් දරා ඉදිකරවූ දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් අද (09) විවෘත කරනු ලැබීය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර, අම්බලන්තොට සූරියවැව සංවිධායක ටී.වී.කේ ගාමිණී, සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක සුභක ප්‍රදීප්, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක සමන් පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා අපේක්ෂක රංග රන්හොටි ඇතුලු පිරිසක් සහභාගී විය.