අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින්පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස පාර්ලිමේන්තු වාර අවසාන කරන බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පෙබරවාරි 7 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ වන බව ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මඟින් දක්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක  114 අනුව තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර , විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ විරාම කාලය හෝ වාර අවසන් කිරීමකදී අහෝසි වේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 124(5), 111(2), සහ 109 අනුව පිළිවෙලින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව.

  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව.

  • ගෘහ්‍ය කාරක සභාව.

  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව.

  • ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව.

  • අමාත්‍යංශයීය උපදේශක කාරක සභා.

  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව.

  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව.

  • රජයේ මුදල් පිළිබඳ කාරක සභාව.

  • මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව.

  • පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව.

ශ්‍රී ලංකා පර්ලිමෙන්ට්