ජනාධිපතිතුමා විසින් කල් තබා ඇති පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් නැවත කැදවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවේන් ඉල්ලා සිටි අතර එතුමා කියා සිටියේ පාර්ලිමේන්තුව පවත්වා ජනතා ප්‍රශ්න කතා කරමින් විසදා ගත යුතු බවයි .

මෙසේ ඉල්ලා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“මේ සියලු ප්‍රශ්න නිසා අද විශාල ආර්ථික අර්බුදයක් රටේ තියෙනවා. ඩොලර් නැහැ ,ගෑස් නැහැ, ගොවි ජනතාව අමාරුවේ .ඉන්ධන ප්‍රශ්න නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යනවා මේ සියලු ප්‍රශ්න තියෙද්දී රජය පාර්ලිමේන්තුව වැහුවා .රටක මෙවැනි අර්බුදයක් තියෙනකොට පාර්ලිමේන්තුව වැඩිපුර පැවැත්විය යුතුයි. අපි අහන ප්‍රශ්න වලට උත්තර නැති නිසා පාර්ලිමේන්තුව වහලා . දෙවැනි ලෝක යුද්ධ කාලයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හතර වතාවක් බෝම්බ දැම්මා එහිදී මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න යාබද පල්ලියක පාර්ලිමේන්තුව පවත්වාගෙන ගියා . ඒකයි වැදගත් කම. අපි රජයට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. අපිට බලාගෙන ඉන්න බැහැ අදහස් ප්‍රකාශ කරන්න අවස්තාවක් නැහැ .

රජය නිතරම කියනවා විපක්ෂයට සහයෝගය දෙන්න කියලා එය ලබා දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළේ විතරයි. රජය කරන කිසිම වැඩකට අපෙන් උදව් ඉල්ලා නැහැ. 20 වන සංශෝධන ගෙනාවා ඒක අපි දැක්කේ පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ. ආංශික අධීක්ෂණ කාරක සභාවක් පත් කර නෑ .එවැනි වැදගත් පනතක් ගෙනාවම ආංශික අධීක්ෂණ කාරක සභාවට ගිහින් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. නමුත් මේ රජය ආංශික අධීක්ෂණ කාරක සභාව පත් කර නැහැ කෙලින්ම පාර්ලිමේන්තුවට ආවා එහිදී තමයි අපි මුලින්ම දැක්කේ යැයි මන්ත්‍රීවරයා පැවසීය .

ආණ්ඩුව වැටෙන එක වෙනම වැඩක් නමුත් රට අගාධයට යන එක අපිට දරාගෙන ඉන්න බැහැ අපි මේ රටේ පුරවැසියෝ වෙනත් රටවල පුරවැසිකම් අරන් නැහැ. රට අගාධයට පත්වුනාම පැනලා යන්න තැනක් අපිට නැහැ .අපි ඉන්නේ මේ රටේ ආණ්ඩුව කවුරු වුවත් අපිට රට ආරක්ෂා කරගන්න ඕන. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න.මෙ අවස්ථාවේ අපට ජනතාව වෙනුවෙන් කතා කරන්න ඕන බව කිරිඇල්ල මහතා පැවසීය .”