අමෙරිකාවේ Stockton විශ්වවිද්‍යාලයේ Holocaust සහ Genocide හෙවත් ජනසංහාරයන් පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයේම මහාචාර්යවරයෙකු වන ඊශ්‍රායල් ජාතික Raz Segal මෙම ඔක්තෝම්බර් 13 වන දින Jewish Currents වලට ලියූ ලිපියක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා අද පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය ආමන්ත්‍රණය කළේය.

එම ලිපියේ සදහන් වන්නේ,

“A textbook case of Genocide.
Why is not the world listening.”

“ජනසංහාරය පිළිබඳ පෙළපොතක්.
ඇයි ලෝකය මෙයට සවන් නොදෙන්නේ?”

කඩිනම් සටන් විරාමයක් ඇතිකිරීමට සහ සාමකාමී විසඳුමක් ලබාදීමට ක්ෂණිකව මැදිහත්වන ලෙස, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම මෙම විවාදයේ අරමුණ වන අතර මේ යෝජනාව තුලින්, අද අපි මේ සභාවේ සාකච්ඡා කරන්නේ, අද අපේ ඇස් ඉදිරියේ, මේ ලොව සිදුකරමින් සිටින, ම්ලේච්ච මහා සංහාරයක් ගැන සහ මිනිස් ඝාතන ගැන බව එතුමා පැවසීය.

ඊයේ දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා රැස්වීමේදී සිදුවූ සිද්ධියක් පිළිබඳව අවදානය යොමු කරමින් ඉම්තියාස් මහතා කියා සිටියේ මෙතරම් ජන සංහාරයක් සිදුවෙමින් තිබියදී බටහිර මාධ්‍ය වලට මෙය ප්‍රවෘත්තියක් නොවීම කණගාටුවට කරුණක් බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ ගැන අද සාකච්ඡා කරන මේ මොහොතේ මට මතක් වෙන්නේ ඊයේ දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා රැස්වීමේදී සිදුවූ සිද්ධියයි. ඊයේ දින එහිදී අමෙරිකානු නියෝජිතයා කථාකරද්දී මානව හිමිකම්, ජාත්‍යන්තර නීතිය ආදිය සම්බන්ධව, ඔවුන්ගේ දෙබිඩි කුහක ප්‍රතිපත්තිය හෙළා දකිමින් මානව හිමිකම් කොමිසමේ සිටි ලොව රටවල නියෝජිතයන් අමෙරිකානු නියෝජිතයාට තම පිටිපස්ස හරවමින් නැගී සිටිමින් ගාසාවට මේ දින කිහිපය තිස්සේම ගුවනින් බෝම්බ හෙලමින්, රෝහල්, පාසල්, රතුකුරුස මධ්‍යස්ථාන, සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරය හෙලාදැකීම අප සමාජ මාධ්‍ය මගින් දුටුවා.

ඒත් ඒවා ලොව ප්‍රවෘත්ති බෙදාහරින බටහිර ප්‍රබල මාධ්‍ය ඒකාධිකාරයන්ට ප්‍රවෘත්තියක් නොවීම අප දකිනවා.

අද මැදපෙරදිග විශේෂයෙන්ම මේ මොහොතේ පලස්තීන භූමිය යටත් විජිතයක් ලෙස මේ අත්විඳින ඛේදවාචකය හා සමාන තත්වයක් රටක් ලෙසින් අපේ රටටත් අපේ මුතුන්මිත්තන්ටත් සියවස් ගණනාවක් තිස්සේ පෘතුගීසීන්, ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේත් අත්විඳින්නට සිදුවූ ආකාරය මගේ සිහියට නැගෙනවා.

එදා නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි වීර කැප්පෙට්ටිපොලලා, වීර පුරන්අප්පුලා, ගොංගාලේගොඩ බණ්ඩා, වාරියපොල හිමියන්, කුඩහපොල හිමියන් ඇතුළු ඒ විවිධ යුගවල නිදහස වෙනුවෙන් ජීවිත බිලිදුන්, වද වේදනා විඳි, අපේ නිදහස් අරගලයේ වීරවරයන් මගේ මතකයට එනවා.

එදා ඔවුන්ටත්  “ත්‍රස්තවාදී” හංවඩුව ගසමින් තමයි අධිරාජ්‍යවාදීන් ම්ලේච්ඡ මර්දනයක් ක්‍රියාත්මක කළේ.

ඒ “ත්‍රස්තවාදී” යන විශේෂන පදය මහත්මා ගාන්ධිගේත්, මන්ඩෙලාගේත්, යාසර් අරෆාත්ගේත් නම් වලට ඉදිරියෙන් යෙදීමට එදා යුගයේත් අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කළා.

අද ඒ අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය ඊට වඩා දියුණු උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කිරීමයි අද අපි මැදපෙරදිග දකින්නේ.

එදා ඉන්දියාවේ, ලංකාවේ ඇතුළු ඒ යටත් විජිත හැමතැනකම ජනතාව අතර බෙදීම්, ගැටීම්, කෙටවීම් ඇතිකර ඒ තුලින් තම පැවැත්ම තහවුරු කරගන්නට කටයුතු කිරීම අප දුටුවා. අදත් අප ඒ උපායමාර්ග දකිමින් සිටිනවා.

ආර්ථික සූරාකෑම සඳහා, ලිබියාව, ඉරාකය වැනි රටවල, නව යටත් විජිතවාදී උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පසුගිය අවදිවලදී අප දුටුවා.

පලස්තීන භූමිය තුල අධිරාජ්‍යවාදී බලවේග ඊශ්‍රායලයක් නිර්මාණය කර ඒ තුලින් බලාපොරොත්තුවූ දෑ ලෝකයම දැන් දන්නවා.

දැන් පවතින තත්වය බලන්න.
පලස්තීනය ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර බවට පත්කර තිබෙනවා.

දේශසීමාවල සාම හමුදා රඳවන්නට කල යෝජනා මායිම් කළේ නැහැ. ඒ භූමිය වටකරගෙන කොටුකරගෙන මේ මොනවද කරන්නේ ?

මේ ම්ලේච්ඡ ප්‍රහාර සියවසක කාලයක් තිස්සේ විටින් විට කරමින් ඉඩම් පැහැර ගන්නවා. වාසස්ථාන අහිමි කරනවා.

ලොව විශාලතම සරණාගතයන් සංඛ්‍යාව පලස්තීන ජනතාව බවට පත්කර තිබෙනවා.

ස්වාධීන පලස්තීන රාජ්‍යක් සඳහා වෙන් කර ඇති භූමියේ භීෂනය පතුරවමින්, විටින් විට ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ගේ වාසස්ථාන විනාශ කරමින්, වගාවන් විනාශ කරමින්, ඔවුන් පලවාහරින්නේ ස්වාධීන අධිකරණයක පිහිටක් පතන්නට පවා මං අහුරවමින්.

ඒ ප්‍රදේශවල පිටස්තරයන් ගෙනවිත් බලයෙන් පදිංචි කරවමින්, ප්‍රචණ්ඩත්වය තුලින් ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර නීතිය මායිම් නොකරමින්.

මැදපෙරදිග සිටින අමෙරිකාවේ අංක එකේ මිත්‍ර රටවල් කිහිපයෙන් එකක් වන ඊජිප්තුවේ ජනාධිපති අබ්දුල් ෆතා එල්.සිසි “තවදුරටත් පලස්තීන ජනතාව සරණාගතයන් බවට පත් කරමින් ඔවුන් උපන් බිමෙන් පලවා හැරීම” සම්බන්ධව කළ ප්‍රකාශයක්, මම ඊයේ Arab News මාධ්‍යයේ දුටුවා.

ඔහුගේ ප්‍රකාශයෙන් බිඳක් මම උපුටා දක්වනවා.

“What is Happening now in Gaza is, an attempt to force, civilian residents, to take refuge, and migrate to Egypt, which should not be accepted.”

“Egypt rejects, any attempt to resolve the Palestinian issue, by military means or, through the forced displacement, of Palestinians from their land, which would come, at the expense of, the countries of the region.”

තවද Arab News වාර්තාව තවදුරටත් ඔහුගේ ප්‍රකාශය මෙලෙස වාර්තා කරනවා.

“He warned, that such a move, would turn the peninsula, in to a base, to stage attacks on Israel.”

ජනාධිපති සිසි පමණක් නොව අතිගරු පාප්තුමන් ඇතුළු ලොවපුරා රාජ්‍ය නායකයන් රැසක් මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් අනුමත නොකරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

ඔක්තෝම්බර් 18 වන දින පෙ.ව 3.28 ට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ සහායකයෙකුවන හනන්යා නෆ්තාලි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්,

“ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ රෝහලක තිබූ හමාස් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළේය.” යනුවෙන් සඳහන් කර තිබුණා. එහෙත්, එදිනම රාත්‍රී 10.58 ට වන විට එම පණිවිඩය හනන්යා විසින් මකා දමා තිබුණා.

මුලදී ප්‍රහාරයේ වගකීම භාරගැන්ම සහ පසුව ඒ ප්‍රකාශය අස්කර ගැන්ම පෙන්නුම් කරන්නේ ලෝක ප්‍රජාවගෙන් එල්ලවූ ප්‍රබල ප්‍රතිචාරයේ තරමයි.

ඊශ්‍රායලය මේ දින කිහිපය තිස්සේම දිගටම ගුවනින් බෝම්බ හෙලමින් සිදුකරන මේ ප්‍රහාරයන් රාජ්‍ය නායකයන් රැසක්ම හෙලා දැක තිබූණා.

අප්‍රිකා සංගමයේ ප්‍රධානියා

“මේ ප්‍රහාරය යුද්ධ අපරාධයක්. මේ ප්‍රහාරය හෙළා දැකීමට මට වචන නැහැ.” යනුවෙන් කියා තිබුණා.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ප්‍රකාශ කර තිබුණේ,

“රෝහලකට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවෙයි. සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර නීතියට ගරුකළ යුතුයි.” යනුවෙන්.

චීන විදේශ අමාත්‍යවරයාගේ සඳහන වූයේ,

“මේ ප්‍රහාරය අපට ඇති කරන්නේ මහා කම්පනයක්. අප එය දැඩි ලෙස හෙළා දකිනවා. වහාම සටන් විරාමයක් සහ යුද්ධයේ අවසානයක් ඇතිවිය යුතුයි. ඊශ්‍රායලයේ මේ ක්‍රියාවන් ආත්ම ආරක්ෂාවේ සීමාවන් ඉක්මවා යන්නක්. ඔවුන් ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඉල්ලීම්වලට කන්දී ගාසාවේ ජනතාව සාමූහික දඬුවමකට ලක් කිරීම නතර කළ යුතුව තිබෙනවා.” යනුවෙන්.

බ්‍රසීල ජනපති ලූලා ද සිල්වාගේ ප්‍රකාශයේ සඳහන්වූයේ,

“මෙය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි ඛේදවාචකයක්. අහිංසකයන්ට මේ යුද්ධයේ උමතුකම්වලට ගෙවන්නට පුලුවන්කමක් නැහැ. අප්‍රමාදව මානුෂීය මැදිහත්වීමක් සහ කලාපය තුල, සටන් විරාමයක් සිදුවිය යුතුව තියෙනවා.” යනුවෙන්.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා,

“නිදහස උදෙසා වන පලස්තීන ජනතාවගේ සාධාරණ අරගලයට දකුණු අප්‍රිකානු ජනතාව ඉතිහාසය පුරා ලබාදී ඇති ආශිර්වාදය හා සහයෝගය ඉදිරියටද ලබාදීම සහතික කරන්නෙමු.” යනුවෙන් ප්‍රකාශ කර තිබුණා.

ලෝකය පුරා ජනතාව පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා වන නැගිටීම්වලට එරෙහිව සිදුකෙරෙන මේ අමානුෂික මෙහෙයුම් නතර කිරීමට බලකරමින් සිටින පසුබිමක ලොව ප්‍රවෘත්ති බෙදාහරින සාම්ප්‍රදායික ප්‍රවෘත්ති ඒකාධිකාරයන් සහ බටහිර ප්‍රබල මාධ්‍යයන් ඊශ්‍රායලයේ සහ අධිරාජ්‍යවාදී බලවේගවල න්‍යාය පත්‍රයන්හි ප්‍රචාරක මෙවලම් බවට පත්ව තිබීම අප දකිනවා.

තාක්ෂණය දියුණු වාතාවරණයක් තුළ තමන් ඉදිරිපත් කළ ප්‍රවෘත්තීන්හි නිවැරැදිභාවය ගැන ජනතාව තුලින් එල්ල වන පීඩනය මධ්‍යයේ සමහර තොරතුරු ඉදිරිපත් කිරීම් ඉල්ලා අස්කරගන්නට ලොව ප්‍රබල මාධ්‍යයනට සිදුවූ අවස්ථාවන් අප මේ අතර දකිමින් සිටිනවා.

එවැනි අවස්ථාවන් දෙකක් ගැන මාධ්‍යයන්හි පලවූ අවස්ථාවන් උපුටා දක්වන්නට මම කැමතියි.

මම මේ උපුටා දක්වන්නේ The Hill පත්‍රයෙන්. ලොව ප්‍රබල මාධ්‍යයක් වන බී.බී.සී සමාව ඉල්ලීම කරන අවස්ථාවක් එම පත්‍රය උපුටා දක්වා තිබුණා. පලස්තීනයේ සිදුවන අමානුෂික මෙහෙයුම්වලට විරෝධතා දක්වන අය හමාස් ආධාරකරුවන් බවට පළ කළ පුවත ගැනයි. ඒ සමාව ඉල්ලීම.

ඔවුන්ගේ සිරස්තලය වුණේ,
“B.B.C. apology’s for saying Pro-Palestinian demonstrations were “Backing” Hamas”

දෙවෙනි උපුටාගැන්ම New Arab.com News වලින් එය ලොව ප්‍රබල මාධ්‍යක් වන C.N.N හි සමාව අයැදීම උපුටා දක්වා තිබුණා. ඔවුන්ගේ සිරස්තලය වුණේ,

“C.N.N, Journalist apologizes for, repeating claim, Hamas beheaded babies”

දුස් තොරතුරු පැතිරවීමට විරුද්ධව ජනතාවගේ ප්‍රබල හඬ නැගීමක් සිදුවන වි ලොව ප්‍රබල මාධ්‍යයනට පවා මුහුණ දීමට සිදුවන තත්වය පෙන්වන හොඳම නිදසුන් දෙකකි, මෙය.

ලොව සුපිරි බලයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා තීන්දු තීරණ තම නිෂේධ බලයෙන් අකර්මන්‍ය කරන අයුරින් ලොව ප්‍රබල මාධ්‍යයන්ද තම න්‍යාය පත්‍රයට අනුව හැසිරවීම අප දකිමින් සිටිනවා. අප ඒ කඩතුරාවන් ඉරා යථාර්ථය තේරුම් ගත යුතුව තිබෙනවා.