සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැවෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීය. එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායකවරයා මෙහි දී ඉදිරිපත් කර සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමුහික ගිවිසුම අලුත් කරන්න

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමුහික ගිවිසුම 2023.06.30 දින අවසන් වන බවත් එය 2023.07.01 දින සිට නැවත බලාත්මක කළ යුතුව ඇතත් එය සිදු කර නොමැති බවත් එබැවින් මේ ගිවිසුම් ගැටලුව විසඳන ලෙසත් ඉල්ලා සිටියේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නුසුදුස්සන් පත් වෙලා

එසේම ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාක්ෂණික රසායනාගාර නිමවුම් තනතුර සඳහා රසායනාගාර සේවාවේ සුදුසුකම් රහිත වරලත් ගණකාධිකාරවරයකු පත් කර ඇති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන තනතුරට අවශ්‍ය සේවා සහ පළපුරුද්ද සනාථ කරන සහතික බොරු බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මදුරු මර්දන සහායකයින්ගේ පත්වීම් ස්ථීර කරන්න

මදුරු මර්දන සහායක පත්වීම් ලබපු 1500ක් දෙනාට දෛනිකව රුපියල් 733ක් පමණක් ලැබෙන බවත් මේ අතර 8 ශ්‍රේණිය සමත් අය බහුකාර්ය සේවාවටත් සාමාන්‍ය පෙළ සමතුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් එය සිදුවී නැති බවත් සාමාන්‍ය පෙළ සමතුන් 305 දෙනාගේ වැටුප 2023 ඔක්තෝබර් සිට අත්හිටුවා ඇති බැවින් ඔවුන්ගේ ජීවනෝපාය කඩා වැටි ඇති බවත් 8 සමත් අයට එන්.වී.කිව්. 3 සහතිකය ලබා ගන්නේ නම් ස්ථිර කරනවා යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කියු නිසා අතේ මුදලින් රුපියල් 9000ක් වියදම් කර එම සහතිකය ලබා ගෙන ඇති මුත් රැකියාව ස්ථිර කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පිළිකා යන්ත්‍ර මිලදී ගැනීමේ ගැටලුව නැවතත් පාර්ලිමේන්තුවට

පිළිකා යන්ත්‍ර මිලදී ගැනීම් ක්ෂේත්‍රයේ විශාල මාෆියාවක් තිබූ බවත් නවීන පිළිකා ප්‍රතිකාර යන්ත්‍රයක් වන ලිනියර් ඇක්සලරරේටර් යන්ත්‍ර නොගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රමුඛ පිරිසක් පරණ කෝබෝල් යන්ත්‍රය ගෙන්වීමට කටයුතු කරන බැවින් මෙම නව යන්ත්‍ර ගෙන්වීමේ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පාසල් දරුවන්ගේ පෝෂණ සමීක්ෂණයක් කරන්න

රටේ පාසල් 10126ක් සහ පාසල් දූදරුවන් 41 ලක්ෂයක් ඇති බැවින් ඔවුන්ගේ පෝෂණ මට්ටම සොයා බැලීමේ කඩිනම් විධිමත් ක්‍රමවත් කාර්යක්ෂම සමීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඖෂධ සඳහා විධිමත් මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්න

ඖෂධ මිලදී ගැනීමේ දී බරපතල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. තවද ඖෂධ කර්මාන්තයත් පාරිභෝගිකයන්ටත් සහනයක් ලැබෙන මිල සූත්‍රයකට යන ලෙසත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ආයුර්වේද පනත නැවතත් සංශෝධනය කරන්න

ආයුර්වේදන ක්ෂේත්‍රයට සම්බන්ධ නව පනතක් ගෙන ආවත් එය පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ නිසි සාකච්ඡාවක් නොකර ගෙන ආ අවිදිමත් පනතක් බැවින් මෙය නැවත සාකච්ඡා කරන ලෙසත් සියලුම පාර්ශ්වකරුවන් ගෙනවිත් සාකච්ඡා කර වඩා ප්‍රබුද්ධ ප්‍රශස්ත විසදුමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී ගැටලුවත් පාර්ලිමේන්තුවට

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ පුරප්පාඩු 3800ක් ඇති බවත් කණ්ඩායම් 2ක් බඳවා ගන්නවා කිව්වත් එක කණ්ඩායමක් පමණක් බඳවා ගෙන ඇති බවත් ඒ නිසා දෙවැනි කණ්ඩායමේ 1657ක් අනාථ වී ඇති බැවින් ඔවුන් ද බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.