දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත්, සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින්, සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

  • වෛද්‍ය රමේෂ් පතිරණ
  • ප්‍රසන්න රණතුංග
  • ජනක බණ්ඩාර තෙන්නකෝන්
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • රෝහිත අබේගුණවර්ධන
  • සී බී රත්නායක
  • පවිත්‍රා වන්නිආරච්චි
  • එස් එම් චන්ද්‍රසේන
  • නාමල් රාජපක්ෂ
  • ආචාර්ය බන්දුල ගුණවර්ධන
  • සනත් නිශාන්ත
  • කංචන විජේසේකර යන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇතැයිද දැනගන්නට තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍ය ධුර හිමි වීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ.