නව වසර ආරම්භයේදීම විදුලි සැපයුම් දසලක්ෂ හැට හතරදහස් හාරසියයක් ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

අමාත්‍ය කාංචන විජේසේකර මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේවෙතත් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ පමණක් විදුලිය විසන්ධි කිරීම් එක් ලක්ෂ විසිදහසක් වාර්තා වී තිබේ.
බිල් ගෙවාගත නොහැකි වූ බොහෝ පවුල් මධ්‍යම පන්තියට අයත් පවුල් බව වාර්තා වේ.

ඊට අමතරව 2023 වසරේ පළමු කාර්තු දෙක තුල පමණක් ලක්ෂ දොළහකට පමණ රතු බිල් නිකුත් කර තිබෙන බවද පැවසේ.

අනෙක් විශේෂත්වය වන්නේ විදුලිය විසන්ධි කළ විට යළි විදුලි සැපයුම ලබා ගැනීම සදහා එකී පවුල්වලට සෑහෙන කාලයක් ගතවීමයි.

විදුලිය විසන්ධි කිරීමකට පසුව නැවත විදුලි සැපයුම ලබා දීම සදහා දැනට රුපියල් දෙදහසක මුදලක් අය කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර කිහිපය තුලම පාස්කු, කොරෝනා, ආර්ථික අර්බුදය ආධී රටේ ජනතාව මුහුණදුන් විවිධ අර්බුද වලට අමතරව ජනතාවට 2024 නව වසර තුල අධික ලෙස VAT බදු ගෙවීමට සිදුවීම හේතුවෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, ආහාර වැනි ජනතාවට සංවේදී ක්ෂේත්‍ර රැසකට අදාලව අධික මිලක් ගෙවීමට සිදුවී තිබේ.