ශ්‍රී ලංකා මහබැංකු මුදල් මණ්ඩලයේ ලේකම්වරිය වූ දවුලගල මහත්මියව එම තනතුරින් ඉවත් කළේ නව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පැරණි දූෂිත ගනුදෙනු පිළිබඳ රහස් වසන් කරගැනීම සඳහා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ  නානායක්කාර පවසයි .

මහබැංකුවේ අධිපති ධුරයට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පත් කරන්නට යෙදුණා පහුගිය දවසේ. මුදල් මණ්ඩල පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දේශපාලනඥයෙක්, මන්ත්‍රීවරයෙක් මේ සඳහා පත් කරන්න බෑ කියලා. දැන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්, හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙක්, ඊට කලින් අග්‍රාමාත්‍යවරයාගේ හිටපු මුදල් උපදේශකවරයා, තවත් කාලෙකදි පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයෙක් මොහුව දැන් මහබැංකුවට පත් කරනවා. 

එතකොට මොහු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත්කරන ලද බැඳුම්කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවෙන් පස්සෙ ගත්තු වෝහාරික විගණන වාර්තාවලින් මොහුට ලබැඳියාවන් සම්බන්ධ ගැටුමක් තිබෙන බවත් තවත් රාශියකුත් හෙළිදරව් කරලා තියෙනවා. එතකොට එහෙම තියෙද්දී මහබැංකුව විසින් මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා නීතිපතිවරයා වෙත බාරදීලා තියෙන මොහොතක තමයි මේ පුද්ගලයාම මහබැංකුවට පත් කරන්නෙ. 

ඉතිං මහබැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය විදියට ඉඳපු දවුලගල මහත්මියව එම තනතුරින් අයින් කිරීම මහලොකු දෙයක් නෙවෙයි මොහුට. තමන්ගෙ හොරකම් ටික රහස් ටික රැකගැනීම වෙනුවෙන් මේ කාරණාව කළාය කියන එකත් මේ වෙනකොට පැහැදිලි කාරණාවක් බවට පත්වෙනවා. එතකොට මේ පරීක්ෂණ කටයුතු මෙතනින් ඉස්සරහට යන්නෙ නෑ මේකත් එක්කම” 

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

සටහන – CJ