සමන්තුරේ ජනතාව පමණක් නොව සියලුම මුස්ලිම් ප්‍රජාව මේ පොහොට්ටු දේශපාලනය නිසා විශාල පීඩනයකට ලක් වූ බවත් ආගම්වාදය ජාතිවාදය නිසා ඔවුන්ගේ ජීවිත කඩා වැටුණු බවත් මේ ජාතිවාදය සහ ආගම්වාදය ඇති කළේ රට විනාශ කළ රාජපක්ෂවරු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) සමන්තුරේ පැවැති ජන හමුවක දී පැවසීය.

රාජපක්ෂවරු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් රට විනාශ කළ වුවත් සමගි ජන බලවේගය කටයුතු කරන්නේ සමගි සම්පන්න රටක් එකට ඉන්න රටක් ඔබත් මමත් එක අම්මගේ එක තාත්තගේ දුවා දරුවන් ලෙස කටයුතු කරන රටක් නිර්මාණය කිරීමට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ ජාතිභේදය, ආගම්වාදය ඇවිස්සවීම සාපරාධී අපරාධමය ක්‍රියාවක් බවට පත් කර මේ මිලේච්ඡ ආගම්වාදය සහ ජාතිවාදය අප රටින් තුරන් කිරීමට කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

කොවිඩ් සමයේ ආදාහනය ද? භූමදානය ද? යන ගැටලුවේ දී සියලු නායකයන් නිවටයන් මෙන් කටයුතු කළ බවත් නමුත් විපක්ෂ නායකවරයා ලෙස තමන් ඊට විරුද්ධව හඬ නැගූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.