ජනාධිපතිතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාදවීම සහ ගොවීන්ට රසායනික පොහොර ලබාදීමට නොහැකිවීම වරදක් ලෙස තමා දැන් දකින බව ඔබ අද සිදුකළ කතාවේදී සඳහන් කළා. මෙහිදී, මා අවධානය යොමු කරන්නේ මූල්‍ය අරමුදලට යාමට ප්‍රමාදවීම පිළිබඳවයි. ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලට ගොස් කෙටි කාලීනව වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට කටයුතු කළ යුතුයැයි මා දීර්ඝ කාලයක් පුරා අවධාරණය කළා.

මා පමණක් නොව ස්වාධීන ආර්ථික විශේෂඥයින්ද බොහෝ කාලයක සිට මේ බව අවධාරණය කළා. කෙටිකාලීනව ගැටලුව විසඳාගෙන දිගුකාලීනව ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ප්‍රවේශ විය යුතුයැයි මා එහිදී පැවසුවා. මේ පිළිබඳව ඔබ දැනුවත්දැයි මා දන්නෙ නෑ. හැබැයි, රටේ ජනතාව ඒ බව දන්නවා ජනාධිපතිතුමනි. එදා අප කිව්ව අවස්ථාවේ මූල්‍ය අරමුදලට ගියා නම් මෙවැනි දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවෙන්නෙ නෑ ජනාධිපතිතුමනි. දිගු පෙට්රල්, ඩීසල් පෝලිම් ඇතිවන එක, ඖෂධ හිඟවෙන එක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙන එක, කර්මාන්ත කඩා වැටෙන එක යම් ප්‍රමාණයකට වලක්වා ගන්න තිබුණා.

එදා මූල්‍ය අරමුදලට ගියා නම් ජාත්‍යන්තර විශ්වාස දිනාගනිමින් අපට අවශ්‍ය අරමුදල් ජාත්‍යන්තර ණය වෙළෙඳපොළ වලින් ලබාගන්න තිබුණා. නමුත්, ඔබගේ නායකත්වයට ඒ දේ නිසි වේලාවට කරන්න බැරිවුණා. ඒ නිසා දැන් අතපසුවීම් ගැන කතා කිරීම ප්‍රමාද වැඩියි. නිසි ලෙස ඒ පියවර ගන්න බැරිවීම නිසා අපි දැන් බින්දුවටම වැටිලා ඉවරයි. එදා අපි මේ අර්බුදය පෙන්වාදෙන විට ඔබේ ආණ්ඩුව සිටියේ බිහිරෙකු ලෙසයි. දැන් මුළු රටම අගාධයට ගියවිට ඇතිවී තිබෙන ජනතා විරෝධය හමුවේ ඔබ මෙවැනි ප්‍රකාශයක් සිදුකළාදැයි මා දන්නෙ නෑ. නමුත්, මා මෙහිදී අවධාරණය කරන්නේ රාජ්‍ය පාලනයේදී විපක්ෂයේ මෙන්ම විශේෂඥයින්ගේ මතයට ඇහුම්කන් දීම වැදගත් බවයි.

ඔබගේ රජය විසින් අවිචාරවත් ලෙස සිදුකළ බදු කප්පාදුව, දැවැන්තව සිදුකළ මුදල් අච්චු ගැසීම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට විදේශ සංචිතය ඩොලර් බිලියන 5.5 ක් පමණ විනාශ කිරීම වැනි අවිචාරවත් ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔබ ස්වයං විවේචනයක් සිදුකළා නම් හොඳයි. පොහොර ප්‍රශ්නයත් මේ වගේම ගැටලුවක්. විශේෂඥයින් එසේ කරන්නට එපායැයි අවධාරණය කරද්දී ඔබගේ රජය එම ප්‍රතිපත්තිය හකුලාගත්තෙ නෑ.

මේ සියල්ලටම හේතුව ඔබගේ ආණ්ඩුවේ ති⁣බෙන උද්ධච්ඡ බවයි. ඒ තුළින් ඔ⁣බගේ ආණ්ඩුව රටට කළ හානිය තවත් අවුරුදු ගණනාවකින් නිවැරදි කළ නොහැකියි.

උපුටා ගැනිම – හර්ෂ ද සිල්වා ෆේස්බුක් පිටුවෙන්