ගුරු උපදේශක සේවය අපේ අධ්‍යාපන ව්‍යුහයේ අති වැදගත් කාර්යක් ඉටු කරන බවත් මෙහි පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර එම ගැටලු හා යෝජනා අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කර ඊට විසදුම් ලබා ගැනීමට අදහස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේ දී සමස්ත ලංකා ගුරු උපදේශක සංගමය සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ගුරු උපදේශක සේවයේ වැටුප් වර්ධක වල ඌණතා රැසක් පවතින බවත් ඒ සදහා විසදුම් ලබා ගැනීමට කටයුතු කරන බවත් එසේ නොවුවහොත් එම සේවාව විනාශ වන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ එම වැටුප් වර්ධක නොලැබුනහොත් ගුරු උපදේශකරුන් නැවත ගුරු සේවයක යාමට කැමැත්තෙන් සිටින බවත් ය. නමුත් මෙරට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගුරු උපදේශක සේවාවෙන් ශක්තිමත් වන නිසා මෙය කෙසේ හෝ විසදීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය තුල ගුරු උපදේශක සේවාවේ ගැටලු කෙරෙහි අවධානය යොමු කළ හැකි නිශ්චිත කාර්ය මණ්ඩලයක් නොමැති වීමත් කලාප කාර්යාලවලින් ලැබෙන පහසුකම් නොමැති වීම, ගුරු උපදේශක ගමන් දීමනා පහල තලයක තිබීම, මෙහෙයුම් හා නඩත්තු රේඛිය අමාත්‍යාංශයෙන් සිදු කළත් සමහර කලාප කාර්යාල අමාත්‍යාංශයේ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා බරපතල ගැටලුවක් නිර්මාණය වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කර සාධනීය විසදුම් ලබා ගැනීමට පෙනී සිටින බවත් පැවසීය.