ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය 
දිවයිනේ කුඩාම පරිපාලන ඒකකය ග්‍රාම නිළධාරී කොට්ඨාසය වේ. එහි පරිපාලන කාර්යය ගම්මුලාදෑනි තනතුරේ සිට ග්‍රාම නිළධාරී තනතුර දක්වා නිල නාමය විවිධ පනත් මගින් සංශෝධනය වෙමින් විකාශනය විය. 
 
වර්තමානයේ තරඟ විභාගයකින් තේරී පත්වීමෙන් ග්‍රාම නිළධාරී ලෙස පත්වීම් ලබන්නෙකු, සතියේ දින 6ක් රාජකාරී සිදු කරන, එක් විවේක දිනයක් පමණක් හිමි, දවසේ පැය 24 පුරාම රාජකාරියට බැඳී සිටින, අණපනත් 216කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ජනතාව සමග කටයුතු කරන රජයේ නිලධරයෙකි.
 
එමෙන්ම, මෑතකාලීනව කොරෝනා වසංගතයේ දී මෙන්ම ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික විපත් වලදී දවසේ පැය විසිහතර පුරාම සිය සේවය නොමඳව ලබා දීමට මොවුන් කටයුතු කරන ලදී.  එවන් සේවාවක් ඉටු කරනු ලබන මෙම පිරිස සඳහා 1963 වර්ෂයේ සිට මේ දක්වා සේවා ව්‍යවස්ථාවක් සකස් කර දී නැත. සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම තවදුරටත් ප්‍රමාද වීම නිසා මෙම පිරිසට බොහෝ සේවා ගැටලු ඇති වී ඇති බවට දුක්ගැනිවිලි ඉදිරිපත් කොට ඇත. 
 
මවිසින් 2021.03.23 වැනි දින ස්ථාවර නියෝග 27(2) යටතේ ග්‍රාම නිළධාරීන් විසින් මුහුණ දෙනු ලබන ගැටලු පිළිබඳව මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලදී. එහි දී විශේෂයෙන් ම ග්‍රාම නිළධාරීවරුන් විසින් සිදු කරනු ලබන සේවාවේ ස්වභාවය පිළිබඳව සලකා බලා ඒ සඳහා ලබා දිය යුතු දීමනාවන් මෙන්ම කාර්යාල පරිශ්‍ර ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැපයීම පිළිබඳව අවධානය යොමු කරවීය. ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් එදිනම පිළිතුරු ලබා දීමට කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් මාගේ කෘතඥතාවය නැවතත් පල කර සිටිමි. කෙසේ නමුත්, ග්‍රාම නිළධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථා ගැටලුව තවමත් විසඳී නොමැත. 
 
අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ග්‍රාම නිළධාරීවරුන්ගේ මෙම ගැටලුව නිරාකරණය සඳහා සියලු වෘත්තීය සංගම් එක්ව ඒකාබද්ධව සේවා ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. කෙසේ නමුත්, මෙම සේවා ව්‍යවස්ථාව අනුමත වීම දිගින් දිගටම කල්දමමින් සිටින බව ග්‍රාම නිළධාරී සංගම් විසින් පෙන්වා දේ. 
 
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
 
1.      ග්‍රාම නිළධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සඳහා අනුමැතිය කල් යාම නිසා ග්‍රාම නිළධාරීන් බරපතල අසාධාරණයකට ලක්ව ඇති බව රජය පිළිගන්නේ ද?
 
2.      සියලු වෘත්තීය සංගම් ඒකාබද්ධව සකස් කර යෝජනා කර ඇති ග්‍රාම නිළධාරී සේවා ව්‍යවස්ථාව රජය පිළිගන්නේ ද? එසේනම්, අමාත්‍ය මණ්ඩල තීරණ වලට අනුව ග්‍රාම නිළධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව අනුමත කර ලබා දීමට කටයුතු කරන්නේ කවදා ද? ග්‍රාම නිළධාරී සේවා ව්‍යවස්ථාව අනුමත කිරීම ප්‍රමාද වන්නේ නම්, ඒ් සම්බන්ධයෙන් මේ වනවිට පවතින ගැටලු මොනවා ද?
 
3.      යෝජිත සේවා ව්‍යවස්ථාවට අනුව නව වැටුප් ව්‍යුහයක් ලබා දීමට රජය කටයුතු කරන්නේ ද? එසේනම්, ඒ සඳහා යෝජිතව ඇති වැටුප් ව්‍යුහය කවරේ ද?