රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් පත්වූ දින සිටම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ සනාග එක්වීමට නියමිත බව විවිධ මාධ්‍ය වලින් සහ දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් නොමැති මන්ත්‍රීවරුන් පැවසුවත් එම ප්‍රකාශ තුල කිසිඳු සතයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

පසුගිය දිනක දගනා ගමගේ මන්ත්‍රීවරිය නැගු චෝදනාවක් පිළිබඳව මාධ්‍යවේදීන් නලින් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ නලින් බණ්ඩාර මහතා කියා සිටියේ “මම ප්‍රතිපත්තියක් වශයෙන් ගලි බවුසර්වලට ප්‍රතිචාර දක්වනු නොලැබේ” යන්නයි.

නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගය සමඟ එකතු වීමට විශාල පිරිසක් බලගෙන සිටින බවත් එකතු වීමට කැමති විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත්ය. මේ රට වත්මන් අර්බුදකාරී තත්වයකට ඇද දැමීමට මුලිකත්වය ගත් කිසිවෙක්, රාජපක්ෂ පවුලේ කිසිවෙක්, අන්ත ජාතිවාදීන්, අන්ත දුෂිතයින් කිසිවෙක් සමඟි ජන බලවේගය සමඟ දේශපාලනය කිරීමට එක් කර නොගන්නා බවද මෙහිදී අවධාරණය කරමින් ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා තවදුරටත් කියා සිටියේ 69ලක්ෂයක ජනතාවක් විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට ඡන්දය ප්‍රකාශ කළ නමුත් එම 69 ලක්ෂයක පිරිසම වැරදිකරුවන් කළ නොහැකි අතර එම ජනතාව තුල මේ රට යහපත් රටක් කිරීමේ බලාපොරොත්තුවක් තිබූ බවත් එවැනි බලාපොරොත්තුවක් සහිතව අවංකව සමඟි ජන බලවේගය සමඟ දේශපාලනිකව එක්වීමට කැමති පිරිස රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට එක කරගන්නා බවයි.