කකුළුවා දිය රත්වෙන තෙක් දිය කෙළියේ යෙදුණ හැටි අපි අසා ඇත්තෙමු.ඒත් මේ කතාව කකුළුවන් සැළියට දමා දිය රත් වී මැරෙන බව දැන දැනම එයින් තෘප්තිය ලබන්නෝ ගැනය.එය විනෝදයක් කරගැනීම සම්බන්ධවය. අපරාධ මහත්මා සෙයියාවෙන් කරන්නට හුරු වූ හොරු, මහත්මා නමට හේත්තු වී දැවන්ත සැණකෙළිවල මුවාවෙන් කරන ගසාකෑම් අපට නුහුරු නැත.

මේ කතාව එළියට එන්නේ මතුවෙමින් තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මෙරටට කැදවාගෙන ඒමේ උත්සාහය සම්බන්ධයෙන්ය. මීට පෙර ද රට හම්බන්තොට කියා සිතන සහ රටේ බලය වෙනුවෙන් හම්බන්තොට රැක ගැනීමට රට දෙවැනි කොට සිතන රාජපක්ෂ පාලනය රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති හම්බන්තොටට කැඳවා ගෙන ඒමට උත්සාහ දැරීම අපට අරුමයක් නොවේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙන්ම, සම්මන්ත්‍රණශාලා වැනි ජාත්‍යන්තර නම ඇති ව්‍යාපෘති හම්බන්තොට ස්ථාපිත වූවේ නෙරිය තබා සාරියේ පහළ කොටස ඇදි කාන්තාවකට ඉහළට පොට නැතිව ටීෂර්ට් එකක් අන්දවා තැබූ අයුරෙන්ය. එහෙම චිත්‍රයක් ඇද හෝ මවා හැඩ බලන කලෙක ඔබට මේ තත්ත්වය තේරුම් ගන්නට අපහසු නැත. කෙසේ හෝ මේ රටේ ක්‍රීඩාවට අබැටක දෙයක් නොලැබ මහා ක්‍රීඩා සංදර්ශන මේනියාවට ඩොලර් මිලියන ගණනක තවමත් හරි ඇස්තමේන්තුවක් නැති මුදලක් වියදම් වූ හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩල උත්සාහය ගැන සටහන් කරන්නේ රෑ වැටි වළේම දිගටම වැටෙන බහුතරයකගේ අවධානයටය.

මීට පෙර රාජපක්ෂ පාලන සමයේ දී ද මෙවැනිම ගැටළුකාරී තත්ත්වයක් අපි දුටුවෙමු.ඒ රාජපක්ෂ පවුලේ තරුණයන්ගේ දේශපාලන අනාගතය පැහැපත් කිරිමට පවුලේ හමුවකදි පැමිණි තීරණයකට ශ්‍රී ලංකාවේ හම්බන්තොටට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල කැඳවාගෙන ඒමට දැරූ අසාර්ථක උත්සාහයේදී ය. ඊට ආධාර අනුබල දෙමින් සට්ටැඹි රාජකාරිය වෙනුවෙන් කැප වෙන්නට එවකට සිටි මහා බැංකු අධිපතිවරයා මූලිකත්වය ගෙන කටයුතු කළ ආකාරය ද අපට මතකය. වර්තමානයේ යළිත් එවැනිම රටට ඔරොත්තු නොදෙන බරක් දේශපාලන සංදර්ශනයක් සඳහා ගෙන ඒමට උත්සාහ දරන බවට කතා බහ ඇති වෙද්දි නැවත ගියවර සට්ටැඹි තෙමේ පෙර පුටුවේ විරාජමානව සිටීම මහත් බය ඇති කරවන්නකි.

ශ්‍රී ලංකාව 2018 දී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් සමඟ කළ තරඟ වැදීම රටට මහා අහේනියක් එකතු කරන ලද උත්සාහයකි. එයට ඉදිරිපත් වීම හරහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන අටක් නැති කර ගනිමින් සූදානම් වූ අතර තරගාවලිය දිනා ගැනීම සඳහා සහභාගී වූ විශාල කණ්ඩායමක් ලංසුව පැවති කැරිබියන් දූපත් සමූහයට අයත් ශාන්ත කිට්ස් දූපත වෙත ගොස් ලබා ගත් සැප, සරම් ගලවාගෙන කළ සමූහ නැටුම් ආදියෙන් මෙය විචිත්‍රවත් විය. ක්‍රීඩාව ගැන අංශු මාත්‍රයක දැණුමක් නැති කබ්රාල් මෙහි සභාපතිවරයා වූ අතර, කලක් කෙටි දුර ධාවනයේ දක්ෂතා පෙන් වූ ක්‍රීඩකයෙක්ගේ පියෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ රාජකාරි කරමින් ඇති කර ගත් සුළු සම්බන්ධතා කිහිපයක පිහිටෙන් එහි මහා මොළකරුව සිටියේය. ජාතික ඔලිම්පික් කමිටුව අහළකට කැඳවා නොගත් අතර ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා ද සිටියේ එම තීරණ ගැනීමේ ක්‍රියාවලියේ වාටියේය.

මේ සම්බන්ධයෙන් එකතු වූ මුදල් ගැන තවමත් හරි විගනනයක් සිදු වී නැති අතර ඇතැම් ගිණුම් ඒ වෙනුවෙන් විවෘත වී අකුණු සැරයක් මෙන් දිස්ව සැඟව ගිය ඒවාය. ඒ ආකාරයට ලංකා බැංකුවේ ඇති විශාල ගිණුමක් දින කිහිපයකින් වීවෘතව මුදල් පැමිණි පසු වසා දමා මුදල් ඉවත් කරගෙන ඇත. එවැනි තොරතුරු ජාතික අපරාධයක් කිරීමට වඩා රාජපක්ෂලාට අපරාධයක් කිරීම බරපතල බව සිතන බැංකු ප්‍රධානීන් සඟවා ගෙන සිටින අතර වර්ථමානයේ කබ්රාල් පිළිබඳ දත්ත ඇති නිලධාරිණියට ලැබුණු ස්ථාන මාරුව සේම එම දත්තද මාරු වි හෝ විනාශ වී යා හැකිය.

කෙසේ හෝ මේ රාජපක්ෂ දරුවන්ගේ චූන් සඳහා රටේ මුදල් වියදම් කිරිමේ අවධානමක් නොදකින කබ්රාල් වැන්නෝ ඒ විනාශකාරී වියදමෙන් පසුව එම ඉදිකිරීම් සඳහා වැය කරන්නට නියමිත මුදල් සහ ඉදිකිරීම් සිදු කර තිබුණානම් ඇතැම් විට වෙනත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකට සූදානම් වෙන්නට ද තිබිණ

මහින්ද රාජපක්ෂ,නෙල්සන් මැන්ඩෙලාට සම කරමින් පොදු රාජ්‍ය මණ්ඩල තරඟ උළෙල ලංකාවට දිනා ගැනීමට මුත්තයියා මුරලිදරන් කළ කතාව ඔහුගේ කීර්තියටද විශාල හානියක් කළේය. අඩුම තරමේ ක්‍රීඩකයෙක් ලෙස ඔහු මැන්ඩෙලා 1995 දී රග්බි ලෝක කුසලානය දිනා දීමට කරන ලද මෙහෙයුමට අදාළ ඉන්වික්ටස් (Invictus) චිත්‍රපටය හෝ නරඹා නැති බව හෙළි විණි.

හැට ගණනක නඩය වෙනුවට, ඒ සංදර්ශන වෙනුවට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලංසුවට අදාළ හේතු පාඨය ඉදිරිපත් කළේ කුඩා දැරියක්ය. එවී ලූට්ස් නම් වූ ඇය තරගාවලිය පැවත්වීම සඳහා මූලික ඉදිකිරිම් සහිත ඔස්ට්‍රේලියාවට යන වියදම ඩොලර් බිලියන 1.8 ක් බව කිවේය.නමුත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා යන වියදම සටහන් වූයේ ඩොලර් බිලියන 4.10 ක් ලෙසය.ඒ අපේ රටේ ක්‍රීඩාව සම්බන්ධ දුප්පත් යටිතල පහසුකම් නිසාය.එසේම අපි නිෂ්පාදන සහිත රටක් නොවන නිසාය. නමුත් මේ දුප්පත්කම දශමයකින් හෝ වෙනස් කරන්නට අපොහොසත්ව තව දුරටත් එදාටත් වඩා මුදලක් වැය කරමින් ලෝක මට්ටමේ ක්‍රීඩා සැණකෙළියක් ගැන සිහින මැවීම ක්‍රීඩාවට ආදරේ නිසා ද යන්න සිතීම මහජනතාවගේ බුද්ධියට අදාළ කරුණක්ය