කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ මිහිදන් කිරීම හේතුවෙන් වෛරසය ජලයට මිශ්‍ර වී ඉන් කොවිඩ් ව්‍යාප්තිය සිදු වන බවට විද්‍යාත්මකව සනාථ වී නැති පසුබිමක කොවිඩ් ආසාදිත මුස්ලිම්වරුන්ගේ මෘතදේහ තම ප්‍රදේශතුළම භූමිදානය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ. හලීම් මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දින පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු සෞඛ්‍ය අමාත්‍යාංශය අය වැය විවාදය අතරතුරදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“කෝවිඩ් ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදාන කිරීමට රජය මුලින් ඉඩ දුන්නේ නැත. එමගින් පස්වලට වෛරසය එකතුවී ඉන් ජලයට වෛරසය මිශ්‍ර වන බව පවසා එම මෘතදේහ භූමිදානය කිරීමට රජය මගින් ඉඩ ලබා දුන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් කොවිඩ් මෘතදේහ භූමිදානයට අනුමැතිය ලබා දී තිබුණත් ශ්‍රී ලංකා රජය එය අනුමත කළේ නැත.

කෙසේ වෙතත්, වාසනාවකට මෙන් පාකිස්ථාන ගරු අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔහු ගරු අග්‍රාමාත්‍යවරයා වෙත කළ ඉල්ලීම හේතුවෙන් මේ වන විට අදාළ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව කෝවිඩ් ආසාදිත මෘතදේහ මේ වනවිට ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමිදානය කිරීම සිදු වෙනවා. මුස්ලිම්වරුන්ගේ පමණක් නොව සිංහල සහ ද්‍රවිඩ පුද්ගලයන් මෘත දේහ ද එහි භූමිදානය කරනවා.

එසේ වුවද, කෝවිඩ් වෛරසය ජලය මගින් පැතිරෙන්නේ නැති බවට හොඳම සාක්ෂිය වන්නේ පසුගියදා ගම්පොළ රෝහලේ සිදුවූ සිදුවීමයි. එනම් කොවිඩ් ආසාදනය හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු හදිසියේම රෝහලෙන් අතුරුදන් වී ඇති බව ප්‍රකාශ කළා. පසුව දින 51කට පසු එම පුද්ගලයාගේ සිරුර රෝහලේ ජල ටැංකියක තිබී සොයා ගන්නා ලදී.

පුදුමයට කරුණ නම් මෙම ජල ටැංකියේ ජලය ගම්පොල රෝහල් බොහෝ රෝගීන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළත්, එමගින් රෝහලේ කිසිවකුටත් කොවිඩ් රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇත. එසේ නම් ජලය මගින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන බවට වන ප්‍රචාර අසත්‍ය බව දැන් තහවුරු වී තිබෙනවා. ජලය මගින් කොවිඩ් වෛරසය පැතිරී යන බව මුලින්ම ප්‍රකාශ කළේ මහාචාර්ය මෙඩිකා සහ වෛද්‍ය චන්න පෙරේරා යන අයයි. එහෙත් එම කාර්ය සාධක මණ්ඩලයේ සිටි අනෙකුත් විශේෂඥයෝ දැඩි ස්ථාවරයක සිටියහ. නමුත් රජය ඊට අවසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, කොවිඩ් වෛරසය ජලය මගින් පැතිරෙන්නේ නැති බව විද්‍යාත්මකව සනාථ වී ඇති මෙවන් මොහොතක කොවිඩ් ආශ්‍රිත මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ඔවුන් පදිංචි ප්‍රදේශවලම භූමිදානය කිරීමට ඉඩ දිය යුතුයි. රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදන කිහිපයක්ම මේ වන විට ඉල්ලා අස්කර ගෙන ඇති ආකාරයටම, කොවිඩ් සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයද ඉල්ලා අස්කර ගත යුතු බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.