රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අද (05) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරනු ඇති බවයි.

අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ (04) දැනුම් දී ඇති බව ද සඳහන්.

මෙපමණ සාක්ෂි තිබියදීත් තව දුරටත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් අමාත්‍ය ධූරයත් දැරීම ගැටලු සහගත බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් කියා සිටියේ වත්මන් පරිසර අමාත්‍ය ධූරය හොබවමින් සිටින කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවතත් විශ්වාසභංගයක් ගෙන එන බවයි.

විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ කෙහෙළියගේ අමාත්‍ය ධූරය ඉවත් කිරීමට ජනාධිපතිවරයාට කොන්දක් තිබෙනවාද යන්න ප්‍රශ්න සහගත බවයි.

ඉහත ආකාරයෙන් දෙවන වතාවටත් විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයෙන් ගෙන ආ විට මුල් වතාවේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ නිරුවත රටට හෙළිවනු ඇත. එපමණක් නොව ජන ජිවිතයට ඍජුවම බලපාන සෞඛ්‍ය වැනි සංවේදී අංශයක් තුල මෙතරම් බරපතල වංචාවක් කල මන්ත්‍රීවරයකු තමන්ගේ කැබිනට් මණ්ඩලයේ තබාගෙන සිටින රනිල් වික්‍රමසිංහටත් ජනතාවට පිළිතුරු දීමට සිදුවනු ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 02 වැනිදා කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව ඔහු තුන්වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහි දී අමාත්‍යවරයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

එහි දී ඔහුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පැහැදිලි කිරීමක් සිදු කළේ නැහැ.

කෙහෙළියට එරෙහි මහජන පෙත්සම්
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන පෙත්සමක් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ වුණා.

ඒ, ජාතික සිවිල් සංවිධාන පෙරමුණ සමග බහුජන සංවිධාන ඒකාබද්ධවයි.

චෝදනාවට ලක්ව සිටින අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටයි, එමඟින් ඔවුන් අවධාරණය කරන්නේ.

එම අවස්ථාවට මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ද එක්ව සිටියා.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට ම අදාළ එන්නත් ලබා දිය යුතු බවයි.

අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන් ආකාරයට මහජනතාව වඩාත් හොඳ තීරණයක් ගනු ඇති බවත් ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.

කෙහෙළිය රඹුක්කැල්ල මහතා අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත් කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ද ඔහු මෙහි දී කියා සිටියා.