සමගි ජන බලවේගය යන්නේ උන්ගේ මාවතේ වත් මුන්ගෙ මාවතේවත් නොව අළුත් මාවතක යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ මාවතේ ප්‍රමුඛත්වය දෙන්නේ ජනතා සේවයට සහ රටේ සංවර්ධනයට යැයි පැවසූ විපක්ෂ නායකතුමා එය ක්‍රියාවෙන්ද ඔප්පු කරන බව පැවසීය.
උනුත් එකයි මුනුත් එකයි කියා කියන හැමෝම එකයි,නමුත් ඒ සියල්ලටම වඩා සමගි ජන බලවේගය වෙනස් යයි ද විපක්ෂ නායකතුමා පැවසීය.
අද රට කඩා වැටී ඇති තරම අමුතුවෙන් කිව යුතු නැති බව පැවසූ විපක්ෂ නායකතුමා පැනඩෝල් පෙත්තක් වත් නැති තරමට රටේ ආර්ථිකය බංකොලොත් වී ඇතැයිද පැවසීය.2019ත් 2020ත් ගනුලැබූ වැරදි තීන්දුවල ප්‍රතිඵල අද සමස්ත රටටම භුක්ති විඳින්නට සිදුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් රට ගොඩනගන ඒ අභියෝගය බාරගන්නට ඉල්ලා සිටින්නේ කළ හැකි නිසා බවද පැවසීය. ජනතාව එපා කියනවනම් එක මොහොතක් හෝ රැඳී සිටින්නට බලාපොරොත්තු නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා රට ගොඩ නැගිය නොහැකි නම් කළ යුත්තේ වහාම ඉවත්ව යාම බවද පැවසීය.
ජනතාව අභියසට ගොස් සේවය කරන බව එදා කී විට තමන්ට සිනාසුනු පිරිස් අද මහජන නියෝජිතයින්ට ජනතාවගේ දෙපතුල ලඟට එන්න යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයෙන් හුස්මක් වැඩසටහනට එක් වෙමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 47වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ දෙහිඅත්තකණ්ඩිය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග අද(09) කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර වට 46ක් තුල ලක්ෂ 1244ක (රුපියල් 124,406,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.