කයිවාරුවලින් රට ගොඩනැඟිය නොහැකි බවත්,කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක්, නිවැරදි චින්තනයක් ඔස්සේ රට ගොඩනැඟීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් බස් රථය පදවාගෙන යනවද, යන්න පිළිබඳව විවේචනය කරනවට වඩා මේ කරන කටයුත්ත ඵලදායි ද නැද්ද පිළිබඳව විමසා බලන බව වටින බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් කුමන විවේචන පැමිණියද එම කටයුතු නතර නොකරන බව ද පැවසීය.

අද වන විට ලෝකයේ දියුණු රටවල් සියල්ලම පාහේ නවීන අධ්‍යාපන ක්‍රමවේද අත්හදා බලන බව පැවසූ විපක්ෂ නායකතුමා, රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයේ නව පිම්මක් තුළින් බවද පැවසීය. කාලයක් පරණ පටල යුද්ධ වලට සහ ප්‍රශ්න වලට මැදි වී තිබූ රටක් වූ රුවන්ඩාව අද වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධ්‍යාපනයේ නව ප්‍රවණතා තුලින් ඉදිරියට ගිය එවන් රටවල් බොහෝ තිබෙන බවද පැවසීය.

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 56 වැනි අදියර ලෙස සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, අද (02) ගාල්ල උඩුගම ජාතික පාසැලට පරිත්‍යාග කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.