ජනාධිපතිවරයා විසින් එක් රැයක් තුල ගනු ලැබූ අමනෝඥ තීන්දුවක් හේතුවෙන් මුළු රටම බලවත් ඛේදවාචකයකට ලක්ව ඇත. පොහොර තහනම් කරමින් ඔහු ගනු ලැබූ තීන්දුව හේතුකොටගෙන අද රටම ආහාර අර්බූදයකටත්, මහා සාගතයකටත් අත වනමින් සිටී.

මේ අර්බුදය පිළිබඳව පිළිබදව අද (08) පාර්ලිමේන්තුවේදී 27/2 හරහා ආණ්ඩුවට ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් ප්‍රශ්න කළේ මේ අමනෝඥ තීන්දු හේතුවෙන් රට ව්‍යසනයට පත් කළේ ඇයි ද යන්නයි.

මෙතෙක් සහලින් ස්වයං පෝෂිතව පැවති අප රට, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් එක් රැයකින් රසායනික පොහොර තහනම් කිරීමට ගත් එක් අමනෝඥ තීරණයක් නිසා සහමුලින්ම බිඳ වැටිණි. මෙම තීරණය අද වනවිට උග්‍ර සහල් මිළ ඉහළ යාමකට පමණක් නොව, ආහාර අර්බුදයකට ද පාර කපා ඇත. එතැනින් නොනැවතී, ඉදිරියේ දී ජනගහනයෙන් 1/3ක පමණ පිරිසක් මන්දපෝෂණයට ලක්විය හැකි බවට ද තොරතුරු වාර්තා වේ.

සියලු දෙනාට ආහාර වේල් 2කට පමණක් සීමා වීමට සිදුවිය හැකි බවට වත්මන් අග්‍රාමාත්‍යවරයා විසින් ද පවසයි. අධි වේගයෙන් ඉහළ යන භාණ්ඩ මිළ නිසා මිනිසුන්ගේ ආහාර වේලක ඇති ප්‍රෝටීන ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩු වේ.

මේ සඳහා වගකිව යුතු සහ වගවිය යුතු පිරිස් තම තීරණ වැරදි බව පවසමින් ජනතාවගෙන් සමාව අයැද සිටිය ද වරද නිවැරදි කිරීමට එය ප්‍රමාණවත් නොවේ. සිය ජීවනෝපාය වශයෙන් ගොවිතැන් සිදු කළ පිරිස්වලට ගොවිතැන් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත් කොට, වෙනත් රැකියාවන් හි නියුතුව සිටි මිනිස්සුන්ට සිය අවශ්‍යතාවය වෙනුවෙන් වගාවේ නිරත වන ලෙසට ඉල්ලීම් කිරීම දැන් ආණ්ඩුවේ එකම විසඳුම බව පෙනේ. කෙසේ හෝ ඉදිරි කාලයේ දී ජනතාවගේ කුසගින්න නිවාලීම සඳහා ආහාර සැපයුම් ජාල ශක්තිමත් කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වේ.