එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත Clement Voule ශ්‍රී ලංකාවේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් Clement Voule කියා සිටියේ මෙම පියවර මහජන රැස්වීම් තහනම් කිරීමක් ලෙස සලකන බවයි.

විරෝධතා දැක්වීමේ ජනතා අයිතියට ශ්‍රී ලංකා බලධාරීන් ගරු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිතයා ඉල්ලා සිටියේය.

පසුගිය සතියේ (23) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කොළඹ අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් විය.

ගැසට් පත්‍රයට අනුව, අධිආරක්ෂිත කලාපවලට පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය-කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදාව, ගුවන් හමුදා සහ පොලිස් මූලස්ථාන, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය- අකුරේගොඩ , අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය, ආරක්ෂක අංශ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇතුළත් වේ.

මහජනතාවගේ නිදහස සීමා කිරීමක් ලෙස සැලකෙන කොළඹ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර නිලධාරීන්ගේ විරෝධතා මතුව තිබේ.