වර්තමානයේ රට තුල දක්නට ලැබෙන සෞඛ්‍ය වර්ජන ක්‍රියාමාර්ග වලට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවයට අදාළ සේවා රැසක් සඳහන් කරමින් ඒවා අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ජනපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ගේ පමණක් වැටුප් වැඩිකිරීම නිසා ඇතිවී තිබෙන මෙම සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජන ක්‍රියාමාර්ගයට පිළිතුරු ලෙස ජනපති මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි මේ අනුව පෙනී යන්නේ.

ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කෙරෙනවා.

12 වැනි දා සෞඛ්‍ය සේවාව වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වුණේ, වෛද්‍යවරුන්ට ලබා දුන් දීමනාව (DAT) ඔවුන්ටද ලබා ගැනීමේ අටියෙන්. කෙසේ වෙතත් එම සාකච්ඡා බිඳ වැටීම නිසා ඊයේ (13) උදෑසන සිට සෞඛ්‍ය සේවය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවනු ලැබ අද ද එය ක්‍රියාත්මක වෙනවා.