රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩවී තමා නිර්පාක්ෂික නායකයෙක් ලෙස අර්ථදැක්වීම උපහාසයට ලක්කරමින්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා කියා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් ඡන්ද 34කට ඉදිරිපත්වී එයින් 31ක් පරාජයට පත්වී ඡන්ද 3ක් පමාණයක් ජයග්‍රහණය කර තිබෙන පුද්ගලයෙක් බවයි.

එතුමා කියා සිටියේ රජයේ සංඛ්‍යාලේඛණ අනුව 2022 දී සාමාන්‍ය පවුලකට ජීවත් වීමට මසකට රුපියල් 16,500 ක් විතර අවශ්‍ය වූ බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසු 2023 වසරේදී සාමාන්‍ය පවුලකට ජීවත් වීමට 66,000 ක් පමණ අවශ්‍ය වන බවත්ය.

අශෝක අබේසිංහ මහතා අවධාරණය කරමින් කියා සිටියේ ජනතාව ඇන්දවීමට කුමන උප්පරවැට්ටි දැම්මත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නැවත බලය ලබාදීමට රටේ ජනතාව සුදානම් නොමැති බවයි.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ,

”රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදිහට කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ ඉදලා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා කොහොමද නිර්පාක්ෂික වෙන්නේ. අලුත් ළකුණින් එන්න පුලුළුන්. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙලා අලියා ළකුණින් ඡන්ද 34 කට ඉදිරිපත් වෙලා තිබෙනවා. එයින් ඡන්ද 3 යි දිනලා තිබෙන්නේ. ඡන්ද 31 ක් පැරදිලා තිබෙනවා. ජනාධිපතිවරණ 6 ක් තිබුණා. ජනාධිපතිවරණ 2 ක විතරයි ඉල්ලුවේ. ඒ ඉල්ලපු ජනාධිපතිවරණ දෙකත් ඔහු පරාජය වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවෙලා කිසිලෙසකින්වත් දිනන්න බෑ. මොන සන්ධානය හැදුවත් , මොන ළකුණකින් ආවත් ජනතාව රැවටෙන්නේ නෑ. රජයේ සංඛ්‍යාලේඛණ අනුව 2022 දී සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න මාසයට රුපියල් 16,500 ක් විතර අවශ්‍ය වුණා. දැන් ඒ මුදල වැඩිවෙලා තිබෙනවා. 2023 සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න 66,000 ක් පමණ අවශ්‍ය වෙනවා. මොන උප්පරවැට්ටි දැම්මත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නැවත බලය දෙන්න රටේ ජනතාව සුදානම් නෑ”