ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පති පත් කිරිම අනුමත කළේද නැද්ද යනුවෙන් මාධ්‍ය හා සමාජය තුළ කතාවට ලක් වෙන බවත් කතානායකවරයා විසින් මාධ්‍යයට එය අනුමත වූවා යැයි පැවසුවත් වත්මන් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය කඩකර රටට බොරු සපයා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය

පොලිස්පතිවරයාගේ නම යෝජනා කිරීම එදා දවසේ න්‍යායපත්‍රයේවත් නොතිබූ බවත් එදින උදේ 11.30ට ව්‍යවස්ථාදායක සභාව තිබිය යුතු අතර 9.50ට පොලිස්පති පත් කිරීමේ එම යෝජනාව පැමිණි බවත් එහි දී ඡන්දයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ අගමැති, නිමල් සිරිපාල, සාගර කාරියවසම් සහ සිවිල් සාමාජික අනුලා මහත්මිය පක්ෂය ඡන්දය ලබා දුන් බවත් තමා සහ විදේශ ගතව සිටි කබීර් හෂීම් මහතා සූම් තාක්ෂණයෙන් සහභාගී වී විරුද්ධ වූ බවත් තවත් සිවිල් සාමාජිකයන් 2 ඡන්දය නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයාට ඡන්දය දිය හැක්කේ තීරක ඡන්දයක් බවත් එය පක්ෂව හා විපක්ෂව ඡන්ද 4, 4 තිබුණහොත් පමණක් වුවත් කතානායකවරයා ඡන්දය නොදී වැළකී සිටි දෙදෙනාද ගණන් ගෙන තීරක ඡන්දය භාවිත කර ඇති බවත් එය වැරදි බවත් ඔහු අමු අමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවී ඒකාධිපතීත්වයක් ආඥාදායකත්වයක් ඇතිවිය හැකි බවත් මෙය භයංකාර තත්ත්වයක් බවත් ව්‍යවස්ථාදායක සභාවත් නීති උල්ලංඝනය කරනවා නම් රටේ ජනතාවත් නීති උල්ලංඝනය කිරීමට පෙළඹිය හැකි බවත් කතානායකවරයා රටටම විහිලු සපයමින් ජනතාව නොමග යවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැකිරිව විද්‍යාර්ථ ජාතික පාසලට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මට සජිත් කියනවාට වඩා බස් මෑන් කියනවාට මම කැමතියි

සමගි ජන බලවේගය ක්‍රමයේ වෙනසක් සිදු කරමින් සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන අගය කළත් බොහෝම සුලු කොටසක් මේ වැඩසටහන්වලට අපහාස කරන බවත් බස් බෙදන නිසා බස් මෑන් යැයි පවසන බවත් තමාට සජිත් යැයි ආමන්ත්‍රණය කරනවාට වඩා බස් මෑන් කියන එකට තමා කැමති බවත් ඔවුන් තමාට අපහාස කරමින් රටේ ජනතාවට කිසිදු පහසුකමක් සලසන්නේ නැතිව තමන්ට ඇති මුදල්වලින් රැස්විම් පවත්වා අපහාස සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විප්ලවවාදීන් ඇති හැකි නැති බැරි පරතරය අඩු වෙනවට කැමති නැහැ

තමාට අපහාස කරනවා වගේම ඔවුන් ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් මෙම වැඩසටහන අසාර්ථක බවට ප්‍රාචාරය කරමින් සිටින බවත් මෙයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ කුහකකම බවත් ඔවුන් ඇතිහැකි නැතිබැරි පරතරය අඩු වීමට අකැමැති බවත් මෙවැනි කුහක පහත් අදහස් බංකොලොත් රටෙන් ඉවත් කළ යුතු බවත් ඒ තුළින් රටට කිසිදු අනාගතයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාලකයන්ගේ දරුවන්ට නව තාකෂණය නව දැනුම ලැබෙන්නේ ඔවුන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපනය ලබන නිසා බවත් එහෙත් රජයේ පාසල්වල දරුවන්ට එවැනි දේවල් නොලැබෙන නිසා අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නාට්‍යවලට නම් ආයෙ අහුවෙන්න එපා

මේ වන විට රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් උදා වී ඇති බැවින් නැවත වරක් විවිධ දේශපාලන නාට්‍යවලට අහු නොවෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දීර්ඝ වැඩපිළිවෙලක් හරහා රට තුළ සුහුරු ගොවි පරපුරක් නිර්මාණය කරනවා

පාසල් පද්ධතිය සුහුරු කරනවා සේම ගොවියාද සුහුරු කිරීමට අපේක්ෂා කරන බවත් ගුණාත්මකභාවයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නව තාක්ෂණික උපකරණ ලබා දී කෘෂිකාර්මික නවෝදයක් ඇති කරන බවත් එක තැන පල් නොවී පසු අස්වනු තාක්ෂණය ගබඩා කිරිම් වැනි වැඩපිළිවෙළට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 82ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3992ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 111ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1105ක් වැය කර තිබේ.