ආර්ථිකමය අවස්ථා අතින් ලොව පුරා පවතින ස්ත්‍රී පුරුෂ පරතරය නැති කිරීමට තවත් වසර 202ක් ගත වනු ඇත – පසුගිය වසරේ පැවති ලෝක ආර්ථික සමුළුව (World Economic Forum) අනාවැකි පළ කළේ එලෙසය.

මෙම අනාවැකිය පළ කරන ලද්දේ, රැකියා ස්ථානයේ ස්ත්‍රී පුරුෂ විවිධත්වයක් ඇති කිරීමෙන් ව්‍යාපාර ප්‍රතිලාභයන් අත්වන බවට අධ්‍යයනයන් රැසක් මගින් පෙන්වා දී තිබියදීය.

පහත දැක්වෙන්නේ, නායකත්ව පුහුණුකාරියක වන සැලී හෙල්ගෙසන් කාන්තාවන්ට සිය රැකියා තුළින් ඉදිරියට යාමට උපකාරී වන කරුණු 5කි.

  1. ඔබේ ජයග්‍රහණ ඔබ ම පෙන්වා දෙන්න.
    ඔබේ දායකත්වය වෙනත් අයෙකු වටහාගෙන ඊට ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි අපෙක්ෂා කිරීම අනුවණ ක්‍රියාවක්, හෙල්ගෙසන් පවසයි.

සිය ජයග්‍රහණ පිළිබඳව සාමාන්‍යයෙන් කතා නොකරන පුද්ගලයින් සමග තමන් නිතර ගැටෙන බව ඇය පවසයි. එවැනි පුද්ගලයින් දක්වන ප්‍රතිචාර දෙකකි.

“පළවෙනි එක තමයි සමහරු කියනවා, ‘මම හොඳින් වැඩ කරනවා නම් අනිත් අය ඒක තේරුම් ගන්න ඕන’ කියලා,” හෙල්ගෙසන් පවසයි. “අනිත් පිළිතුර තමයි, තව සමහරු කියනවා, ‘මම කරන වැඩේ වෙන අයට පෙන්වන්න මට ම දඟලන්න වෙනවා නම් ඊට වඩා හොඳයි සද්ද නැතුව ඉන්න එක’ කියලා.”

සැලී හෙල්ගෙසන් පවසන්නේ, එවැනි ආකාරයේ ආකල්ප ඔබ පරාජිතයෙකු බවට පත් කරන බවය.

එසේ නම් එය වෙනස් කරන්නේ කෙසේ ද?

“ඔබේ එක් දක්ෂතාවක් හඳුනාගන්න. උදාහරණයක් විදියට ඔබේ ප්‍රධානියා ඔබ කෙතරම් ආයතනය සමග සම්බන්ධ වී සිටිනවා ද යන්න නිවැරදිව වටහාගෙන නැත්නම් සතියකට වතාවක් ඒ සතියේ තමන් ආයතනය වෙනුවෙන් කළ සාකච්ඡා ගැන සාරාංශයක් හදලා ස්වාමියාට ඊමේල් කරන්න.”

හෙල්ගෙසන් පවසන්නේ, එය කාන්තාවන් සඳහා අතිශයින් සාර්ථක උපක්‍රමයක් බවය.

  1. ‘නෑ’, ‘බෑ’ කීමට ඉගෙන ගන්න.
    ඔබේ රැකියාවට අනුගත වීමට ඔබට මුලින් උපකාරී වූ දෙය ම, ඔබේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්, හෙල්ගෙසන් අනතුරු අඟවයි.

“ඔබ හැම විට ම අනෙක් අය සතුටු කරන්න උත්සහ කළොත් ඔබේ කාර්යය අසීරු වීමට හෝ යම් දේවල් සම්බන්ධයෙන් බැහැයි කීමට නොහැකි වීමට පුළුවන්. එමගින් තමන්ගේ සීමාවන් ඉක්මවා ගිහින් කාලය කා දමමින් වෙනත් පුද්ගලයින්ට වාසි ලබා ගත හැකියි,”

ඉන් වැළකෙන්නේ කෙසේ ද? තමන්ගේ සීමාවන් තහවුරු කර ගන්න, හෙල්ගෙසන්ගේ උපදේශයයි.

ඔබ ඔබට ම කියා ගන්න, ‘දැන් මම කරන්න බැරි තරම් වැඩ කරලා තියෙනවා, ඊළඟ මාසයේදී කවුරු හරි මට තවත් වැඩක් අමතරව පවරන්න හැදුවොත් ඒක භාර ගන්න කලින් හොඳින් හිතලා බලනවා. ඒ වගේ ම ඒකෙන් මට ලැබෙන දේ ගැනත් හිතනවා. මේ වැඩේ මම කැමති දෙයක් ද? කියලා හිතනවා.’

  1. පරිපූර්ණත්වය සහ අවදානම් ගැනීම අතර වෙනස
    “පරිපූර්ණ වීමට උත්සහ කිරීමේදී ඇති වන ලොකු ගැටලුවක් තමයි, වෙනත් අයට වැඩ පැවරීමට ඇති අකමැත්ත. මට නිතර ම ඇහෙන දෙයක් තමයි ‘මම ම මේ වැඩේ කර ගන්න එක මට ලේසියි’ කියන අදහස,” හෙල්ගෙසන් පවසයි.

ඉන් ගැලවීමට සාපේක්ෂව සරල ක්‍රමයක් තිබේ.

“ඔබ වැඩය පැවරීමට යන පුද්ගලයා තෝරා ගන්න. එයාට අවස්ථාවක් දෙන්න, එයාගේ වැඩ ගැන ප්‍රතිචාර දක්වන්න, නමුත් ඔබ එහි ඉහළින් සිට අවදානම ගන්න එපා,” සැලී හෙල්ගෙසන් යෝජනා කරයි.

ඒ ක්‍රමය ගැන ඔබට යම් අපහසුතාවක් දැනෙනවා නම් මේ කරුණ මතකයට නගා ගන්න: ආයතනවල කාර්යයන් කිරීමේදී කාන්තාවන් අගැයීමට ලක් වන්නේ නිවැරදිභාවය සහ නිශ්චිතභාවයට පමණක් වන අතර පිරිමි පුද්ගලයින් අගැයීමට ලක් වන්නේ, අවදානම් ගැනීම් සහ නිර්භීතභාවය නිසා බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

හෙල්ගෙසන් පෙන්වා දෙන්නේ, පරිපූර්ණත්වය ඉවත ලා අවදානම් ගැනීමට ඉගෙන ගැනීම කාන්තාවන්ගේ රැකියා දියුණුවට ප්‍රධාන වශයෙන් බලපාන බවය.

  1. වැරදීම් තුළ ජීවත් නොවන්න
    පිරිමින්ට වඩා කාන්තාවන් තමන් අතින් වූ වැරදි පිළිබඳව වැඩිපුර සිතීමේ ප්‍රවණතාවක් පවතී. එය ඔවුන්ගේ පසුගාමීත්වයට හේතු වන බව හෙල්ගෙසන්ගේ අදහසයි. “ඒක ඔබ ඔබට ම දඬුවම් දීමක්.”

ඇය යෝජනා කරන්නේ, වැරදීම් පිළිබඳව දුක් වීම වෙනුවට – “අනිත් අය වගේ ම ඔබත් මනුෂ්‍යයෙක් බව හිතන්න, වැරදීම් අමතක කර ඔබේ කාර්යය නිවැරදිව කරන්න,” යනුවෙනි.

  1. අවතක්සේරු කර ගැනීම නතර කරන්න.
    හෙල්ගෙසන් පවසන්නේ, භෞතික පෙනුමෙන් සහ භාවිත කරන වචන තුළින් කාන්තාවන් තමන් පිළිබඳව අවතක්සේරු කර ගැනීමේ නැඹුරුවක් පවතින බවය.

සමාව ඉල්ලීම, “අනේ එක මිනිත්තුවක් දෙන්න පුළුවන් ද?” වැනි බයාදු ඉල්ලීම්, තමන්ගේ අධිකාරි බලය භාවිත නොකිරීම වැනි ගති ලක්ෂණ පොදුවේ කාන්තාවන් තුළින් දැකිය හැකිය.

“ඔබ නායකයෙකු වෙන්න උත්සහ කරනවා නම් ඔබ ඔබේ අවකාශය ජය ගත යුතුයි. ඔබේ දක්ෂතාවන් සම්පූර්ණයෙන් පෙනෙන ආකාරයට ක්‍රියා කළ යුතුයි,” හෙල්ගෙසන්ගේ උපදේශයයි.

bbc.com/sinhala