ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් බව ඔහු විවිධ තැන්වල ප්‍රකාශ කර ඇත. ඔහු බලයට පැමිණි අලුත කොල්ලෝ කුරුට්ටෝ තාප්පයක් තාප්පයක් නෑර ඇන්ද චිත්‍ර වලත් පෙනෙන්න තිබුණේ දුටුගැමුණු එළාර යුද්ධය, සිංහලකම, බෞද්ධකමය. ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය එකී තාප්ප චිත්රවල දෝරේ ගැලුවේය. අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන මතු නොව බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා තානාපති කාර්යාකයේ සේවය කරද්දි උද්ඝෝෂකයන් පිරිසකට සිංහ කොඩිය පෙන්වා මොකක්දෝ කියන්නට ගිය හමුදා නිලධාරීයාගේ රුව පවා තාප්පවලට ආවේය. මුළුරටම භූමි පුත්‍රයන්ගේ යශෝරාවයෙන් සෙලවීයතැයි බහුතරයක් බලාපොරොත්තු විය. නමුත් එහෙව් ජනාධිපතිවරයෙක්ගේ පාලන කාලය තුළ ඌව වෙල්ලස්සේ පාරම්පරික ගැමි ජනතාව මෙන්ම ආදීවාසී ප්රජාවද පත්ව ඇත්තේ හරි අපූරු තැනකටය. අද ඔවුනට සිදුව ඇත්තේ තමන්ගේ පාරම්පරික නිජබිම් ඉඩම් බහු ජාතික කොම්පැණිකරුවන්ගෙන් බේරාගැනීමට නැවතත් අරගල කරන්නටය. තනි සිංහල ජනපතිගේ ආණ්ඩුව ඌව වෙල්ලස්සේ ඉඩකඩම් බහු ජාතික ගැසල් වෙන්චර්ස් සමාගමට පවරද්දී බිබිල, ඇකිරියන්කුඹුර ආදී ගම්වාසීනට සිදුව ඇත්තේ දෛවයට සාප කරමින් මහමග අරගල කරන්නටය.
මේ සිදුවෙමින් පවතිනුයේ සියවස් දෙකක් තුළ මෙරට සිදුවූ ලොකුම ඉඩම් කොල්ලයයි. අම්පාර, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක තුනට අයත් අක්කර 62500ක් තරම් විශාල භූමි ප්‍රමාණයක උක් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්න මේ වෙනකොට සියලු සැළසුම් සකස්කර අවසන් ය. ඊට අමතරව අදාළ සීනී කර්මාන්තශාලාව ඉදි කිරීමට බිබිල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ඇකිරියන්කුඹුර හා දෙහිගම යන ග්‍රාම සේවා වසම් වල පවුල් 169ක් පමණ ජීවත්වූ පාරම්පරික වාසභූමි අක්කර 575 ක් අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමට හා සිංගප්පූරු ගැසෙල්වෙන්චස් (ඉන්දියානු හවුල්කාර) සමාගමට ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් ලහි ලහියේ කටයුතු සිදුවෙමින් පවති.
ඒ සඳහා අනුගමනය කරනුයේ අතිශ්‍ය සාහසික ක්රමයන්ය. ජේ.සී.බී යන්ත්‍ර යොදාගනිමින් මහවැලියේ නිළධාරීන්යයි කියාගන්නා පිරිසක් ගොවි ජනතාවගේ පාරම්පරික වගා බිම් වනසා දමමින් ගොවීන් පළවා හරින්නට කටයුතු කරමින් සිටී. සැකැවින් කියන්නෙනම් අද බිබිලේ දෙහිගම ඇකිරියන්කුඹුර ආදී ප්‍රදේශවල 1818 කැරැල්ල පැවැති අවදිය ප්‍රතිනිර්මාණය වෙමින් තිබේ . එදා සුදු අධිරාජ්‍යවාදීන් අපේ මුතුන් මිත්තන්ගේ ගේ-දොර, ඉඩ-කඩම්, හරකා-බාන විනාශකරන්නට ඇත්තේත් මේ ආකාරයෙන් යයි අද පරපුරට පෙන්වමින් වගාබිම් ඩෝසර් කරමින්, ගෙවල් පොඩිපට්ටම් කරමින් බහු ජාතික ගැසල් වෙන්චර්ස්ලා භූමි පුත්‍රයන්ගේ ඉඩකඩම් කොල්ලකමින් සිටී.
බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද මිරිහන-දෙහිගම ප්‍රදේශය මුල්කර ගනිමින් අවුරුදු 17ක් තිස්සේ ඇරඹීමට උත්සාහ කරන බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් අතරමග නැවති ඇත්තේ ඒ කෙරෙහි පවතින මහජන විරෝධය නිසාමය. 2006 අවුරුද්දේ එංගලන්ත බුකර්ටෙට් සමාගමත්, පසුව මෙරට අයි.එම්.එස්. හෝල්ඩින් සමාගම සමග සම්බන්ධව තවත් විදේශීය සමාගමකුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළද මහජන විරෝධය හමුවේ ඒ සියල්ල අසාර්ථක විය. වර්ථමානයේ මේ ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට එකග වී ඇත්තේ සිංගප්පූරුවේ සී/ස ගැසෙල්වෙන්චස් නම් පෞද්ගලික සමාගමය. ඊට පහසුකමි සපයන මෙරට හවුල්කාර සමාගම වන්නේ අයි.එම්.එස්. හෝල්ඩිං සමාගමයි.
යෝජිත සීනි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවිය හැකි පාරිසරික හානිය හා සමාජ බලපෑම ප්‍රථමයෙන් අනාවරණය කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් යෝජිත භූමිය පුරාවිද්‍යාත්මකව වැදගත් බව සාක්ෂි සහිතවම පෙන්වා දීම නිසා මෙකී කොල්ලකාරී ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නට නොහැකි විය. මේ තත්ත්වය වළක්වන්න ආණ්ඩුව කළේ 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය හා පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2000.05.04 දිනැති අංක 1130/13 දරණ ගැසට් පත්‍රය මගින් හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 2010.09.02 දිනැති අංක 1130/41 දරණ ගැසට් පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදවාගෙන මහවැලි බල ප්‍රදේශයක් ලෙස නම් කිරීමය. .
එහෙත් ජනතාව තම ගම්බිම් මහවැලියට පවරාදී ඉවත්වූවේ නැත. ඔවුන් අඛණ්ඩව තම උපන්බිම් වෙනුවෙන් අරගල කළහ. එහිදී කරළියට ආ ප්‍රදේශයේ ආණ්ඩුවේ දේශපාලනඥයෝ ඉඩම් හිමිකරුවෝ උසාවි යාම වලකා ලමින් ජනාධිපතිලවා ඉඩම් බේරාදෙන බවට පවසා ඔවුන් රැවටූවෝය. එලෙස මිනිසුන් රවටා ලබාගත් චන්දයෙන් දියවන්නාව තරණය කළ මේ කෛරාටික දේශපාලන්ඥයෝ මහවැලි අධිකාරිය සහ උසාවි නියෝගය ඉදිරියට දමා අහිංසක ගැමියන්ගේ ඉඩකඩම් ඩෝසර් කරමින් ඔවුන් පලවා හරිමින් සිටී.
“ගල්ඔය ව්‍යාපාරය අපේ පරමිපරාව සී සීකඩ කළා. දැන් බිබිල සීනි ව්‍යාපෘතිය අපිව පාරට ඇදලා දාන්න යනවා. අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ. අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ. අපිට මේ කැළේ අතහරින්න බැහැ. ඒ නිසා අපිට ආදරය කරන මිනිස්සුන්ට කියන්නේ. අපේ අරගලය එක්ක හිටගන්න!”
ආණ්ඩුවේ අවසරයෙන් කෙරෙනා බහුජාතික ආක්‍රමණයෙන් සිය උපන්බිම අහිමිව සිටිනා රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිලා ඇත්තන් පවසන්නේය. කාටවත් කරදරයක් නැතුව, බොහොම උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගහගත්ත මේ මිනිස්සුන්ට අද අත්ව ඇති ඉරණම හද පාරවනා සුළුය. සුද්දාගෙන් රට මුදවා ගැනීමට එදා ඌව වෙල්ලස්සේ මිනිසුන් ආරම්භ කළ අරගලයට මේ වෙනකොට අවුරුදු 200ක් සම්පූර්ණව ඇත. සුද්දාගේ කොල්ලකාරී ආර්ථික මොඩලයන් කරපින්නාගෙන උන්ගේ පාරේම ගමන් කරන කළු සුද්දන්ගෙන් මේ ලක් පොළොව රැකගන්න අදටත් ඌව වෙල්ලස්සේ ජනයාට අරගල කාරන්නට සිදුව ඇත්තේය.
ඌව වෙල්ලස්සේ හදවත බඳු සාරවත්ම බිම් කඩ බහුජාතික සමාගමකට සින්න කරන්නට මේ ආණ්ඩුව තීරණය කර හමාරය. මොණරාගල, බදුල්ල, අම්පාර දිස්ත්‍රික්ක තුනෙන් අක්කර 65000 ක් බහු ජාතික සමාගමක් වූ සිංගප්පූරුවේ Gazelle Ventures සමාගමට පවරා දීමේ ආණ්ඩුවේ තීරණයේ පීතෘත්වය හිමිවනුයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂටය .
මෙම ඉඩම් කොල්ලය ආරම්භවනුයේ 2006 දෙසැම්බර් 06 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගැනීමත් සමගය. එහෙයින් මේ පාපයෙන් ගැලවීමට මේ ආණ්ඩුවට හැකිවන්නේ නැත.
ගැසල් වෙන්චර්ස් සමාගමට උක් වවන්නට දෙන්නට යන අක්කර 65,000 ක මහා බිම් ප්‍රමාණය නිසා නිල්ගල ඔසු උයන ඇතුළත් රක්ෂිතය, ගල්ඔය වන රක්ෂිතය මාදුරුඔය රක්ෂිතය ඇතුළු ප්‍රධාන රක්ෂිත ගණනාවක් නිසැක ලෙසම අනතුරට පත්වේ. වන රක්ෂිත පේරණ කළාප මෙන්ම, ගොවි ජනතාව භුක්ති විඳින ඉඩම්ද , ආදිවාසීන් බුක්තිවිඳින ඉඩම් ද පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ජාතික උරුමයන් සහිත වූ මේ ඉඩම්ද මේ ආණ්ඩුවේ ආශීර්වාදයෙන් ගැසල් වෙන්චර්ස්ලා කොල්ලකෑමට නියමිතය. සමාජ ආර්ථික පාරිසරික ගැටළු ගණනාවක් ඇතිකරමින් ලක්ෂ ගණනක ජනතාවක් හා සතා සීපාවන් අනතුරේ හෙළමින් ආණ්ඩුව කරන්නට යන මේ මහා ඉඩම් කොල්ලය වලකා ලන්නට මේබිමට හිතැති පිරිස් එක පෙරමුණකට රොක්වෙමින් සිටිති.
ජීවක ජයසිංහ