අද සදුදා දවසක් වෙලත් මුළු රටම එක තැන ආණ්ඩුවට රට වහන්න දෙයක් නැහැ ඉබේම රට වැහිල තියෙන බව විපක්ෂනායක කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා.

අද දිනයේ මෙම මාධ්‍ය සාකච්ඡාවට එන්න ඉතාමත් සුළු වේලාවක් ගියේ. හේතුව අද පාරේ වාහන නැහැ .බස් රථ කිහිපයක් හා සුළු වාහන සංඛ්‍යාවක් තමයි දකින්න පුළුවන් වුණේ. ඒ නිසා අද සදුදා දවසක් වෙලත් මුළු රටම එක තැන ආණ්ඩුවට රට වහන්න දෙයක් නැහැ ඉබේම රට වැහිල තියෙන්නේ මේ ඉන්ධන ප්‍රශ්නය නිසා. රටේ සියලු කාර්යයන් නතර වෙලා.ආණ්ඩුව මොන බයිලා කතා කළත් පාසල් වහලා අද ඉඳලා නිවාඩු ලබා දී තිබෙනවා පාසල් සේවාව සඳහා අවශ්‍ය බස් රථ වෑන් රථ වලට ඩීසල් නැත්තම් පාසල් ඉබේම වැහෙනවා එය ආණ්ඩුවට වහන්න දෙයක් නැහැ .

අද රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා. ත්‍රිරෝද රියදුරාගේ ඉඳලා ස්වයං රැකියා කරන විශාල පිරිසක් ගේ රැකියා අහිමි වීම නිසා ආදායම් කඩා වැටිලා.කුඩා කර්මාන්ත වලත් මේ වෙනකොට සේවය කරපු අයට රැකියාවන් අහිමි වෙලා. මධ්‍ය පරිමාණ කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත සියල්ල වැසී යන තත්ත්වයට පත්වෙලා ඒ වගේම අපේ රටට ඩොලර් ⁣ගේන ඇඟලුම් කර්මාන්ත ඇතුළු අපනයන හා සම්බන්ධ කර්මාන්ත කීයක් අද වැහිලද ඒවා ආණ්ඩුව දන්නෙත් නැහැ. නොයෙකුත් ප්‍රමුඛතා හදලා ආණ්ඩුව යම් යම් අයට ඉන්ධන ලබා දෙන සේවාවන් අපි දැක්කා. ඒවා සාර්ථක ඒවා නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න තෙල් භාර ඇමතිවරයා ඊයේ ඇවිත් දවසින් දවස දින දෙනවා නැව් එන දින සති ගනන් හැබැයි තවම එයාගේ නැව ආවේ නැහැ එය තවමත් මග.

මේ තත්ත්වය තුළ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට වැටිලා. රටේ ජනතාව ගැන හිතන්නේ නැති ජනතාවගේ ජීවිතය ගණන් ගන්නේ නැති ආණ්ඩුවක් බවට ගෝටාභය රාජපක්ෂ පවුල් පාලන ආණ්ඩුව පත් වෙලා .මීට මාස ගණනාවකට ඉස්සර වෙලා මේ රටේ ජනතාව ගෑස් පුපුරලා මියගියා තවත් අය ආබාධ තත්ත්වයට පත්වුණා. විපක්ෂයක් හැටියට මේවා අපි එදා කියද්දී අපිව සමච්චලයට ලක් කරා. මේ වෙනකොට පෙට්‍රල් පෝලිම් වල ඩීසල් පෝලිම්වල කීදෙනෙක් මැරෙනවද මේවා ගැන ආණ්ඩුව දන්නවද, මේ පෝලිම් තත්ත්වය තුළ යම් යම් ආබාධ තියෙන උදවියට ඒවා උත්සන්න වෙලා මිය යනවා. ඊට අමතරව අද වන විට පෝලිමේ ඉන්න අය තමන්ගේ ලඟ ඉන්න කෙනා එක්ක රණ්ඩු වෙලා ගහගෙන මැරෙන තැනට පත්වෙලා තමන් ලඟම ඉන්න මිනිහා පෙන්නන්න බැරි තැනට ජනතාවගේ පීඩනය වැඩි වෙලා .අද මේ රජය රටේ ජනතාව මිනී මරන ආණ්ඩුවක් බවට පත්වෙලා .ජනතාව මරා ගන්න තැනට ගෙනත් තියෙනවා. ඒ නිසා ද පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ආණ්ඩුවත් එක්ක වහාම ගෙදර යන්න කියලා . රටේ ජනතාව ඇතුළු අපිත් මාස ගානක ඉඳන් කියනවා යන්න කියලා හැබැයි දැන් කියන්නේ ගෝඨාභය ගෙදර පළයං. අපි ප්‍රධාන විපක්ෂය විදිහට සමගි ජන බලවේගය නොයෙකුත් ක්‍රියාකාරකම් ගණනාවක් රටේ ජනතාවගේ පැත්තේ ඉදන් ක්‍රියාත්මක කරා. අපි කියනවා මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හරින්න පක්ෂ පාට අමතක කරලා එකා වගේ ආගම් ,ජාති, කුල, සියල්ල අමතක කරලා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ඔක්කොම ලෑස්ති වෙන්න කියලා .

අද වෙන විට කිසිම කෙනෙක් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව පිළිගන්නේ නැති තැනට ඇවිත්. ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නෙත් නැහැ ජාත්‍යන්තරය කියන්නේ හොරා කන ආණ්ඩුවට ආධාර දෙන්න ලෑස්ති නැහැ කියලා .අපේ මිත්‍ර රටවල් මොකක්ද කියන්නේ මේ ආණ්ඩුව තියෙනකන් රාජපක්ෂ පවුල ඉන්නකම් ශ්‍රී ලංකාවට උදව් කරන්න ලෑස්ති නැහැ කියලා. එහෙම නම් වහාම මේ රටේ ලක්ෂ දෙසිය විසි දෙකක් ජනතාව ජීවත් කරවන්න රාජපක්ෂ පවුල මේකෙන් අයින් වෙලා සියලු දෙනා එකතුවෙලා හදන ආණ්ඩුවට අවශ්‍ය පසුබිම සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ගෝඨාභය යන්නේ නැත්නම් එලවන්නත් අපි ලෑස්තියි .මේ වෙලාවේ අද මේ ඇතිවෙලා තියෙන තත්ත්වයෙන් මුදවා ගන්න සමගි ජන බලවේගය තුළ රටේ ජනතාව ගැන හිතන ජනතාවක් ජීවත් කරන්න කැමති සියලු දෙනාට ආරාධනා කරනවා මේ දුර්දාන්ත පාලනය අවසන් කරන්න කාලය හරි එයට ලෑස්ති වෙමු කියලා.

ඉන්ධන සම්බන්ධයෙන් කාංචන විජේසේකර ඇමතිවරයා කියන ඒවා ගැන අපි වැඩිය හිතන්න ඕන නැහැ මොකද එයා කියපු එකක් වත් සිදුවුණේ නැහැ එයා ඇවිත් කළේ ඉන්ධන මිල කවුරුත් හිතන් නැති ගානට තුන් හතර ගුණයකින් වැඩි කරපු එකයි .අද අපේ රටේ කාටවත් මේ ඉන්ධන මිල උහුලනන්ට බැහැ . කාංචන ඇමතිවරයා token ගැන කතා කරත් තෙල් ලබා දෙන වැඩපිළිවෙලක් ගැන කතා නැහැ. ඔහු දක්ෂ කතා කරන්න විතරයි.